ඔබ තෝරාගන්නේ කුමක්ද – ස්විට්සර්ලන්තයේ හිම ක්‍රීඩාවක්ද නැතිනම් ප්‍රාග් නගරයේ සිටින දරුවන් අනතුරෙන් ගලවාගැනීමද? සාමාන්‍ය මිනිසෙක් වූ නිකොලස් වින්ටන් දෙවැනි අවස්ථාව තෝරාගත්තේය. 1938දී චෙකොස්ලොවැකියාව සහ ජර්මනිය අතර යුද්ධයක් ඇති වන ලකුණු පෙනෙන්නට තිබුණි. නිකොලස්, බොහෝ යුදෙව් පුරවැසියන් අති දුෂ්කර තත්ත්‍වයන් යටතේ ජීවත්වූ, ප්‍රාග් නගරයේ අනාථ කඳවුරු සංචාරය කිරීමෙන් පසු, ඔවුන්ට උපකාර කිරීමට සැලැස්මක් ඉදිරිපත් කරන්නට ඔහුට පෙළඹවීමක් ඇති විය. 2වන ලෝක යුද්ධය පටන්ගැනීමට පෙර, සිය ගණන් දරුවන් ප්‍රාග් සිට මහ බ්‍රිතාන්‍යයට ගෙන ගොස් බ්‍රිතාන්‍ය පවුල් විසින් ඔවුන් රැකබලාගැනීම පිණිස ඔහු මුදල් රැස්කළේය.

ඔහුගේ ක්‍රියා ගීතාවලිය 82හි කියා ඇති දේවල් උද්දීපනය කළේය. “පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ටකරව්”(3 පදය). එම ගීතිකාව ලියූ ආසාප්ට අවශ්‍ය වූයේ අවශ්‍යතාවයෙන් සිටි අය ගැන සැළකීමට තම සෙනඟ උනන්දු කිරීමය: “දුප්පතා හා දිළින්ඳා මුදාහරිව්, දුෂ්ටයාගේ අතින් ඔවුන් නිදහස්කරව්” (4 පදය). වෙහෙස නොබලා නිකොලස් මුදාගත් දරුවන් මෙන්, ගීතිකාකරු කථා කළේ, තමන් වෙනුවෙන් කථාකිරීමට නොහැකිවූ, සාධාරණත්‍වය සහ රැකවරණය අවශ්‍යවූ දුගී අය සහ වැන්දඹුවන් ගැනය.

අද දවසේද, බලන බලන අත යුද්ධ, කුණාටු සහ අසීරුතාවන් නිසා අවශ්‍යතාවන්ගෙන් පෙළෙන සෙනඟ අපි දකින්නෙමු. අපට සෑම ගැටළුවක්ම විසඳීමට නොහැකි වූවත් අපගේ ජීවිතවලට පැමිණෙන අවස්ථාවන් වලදී යාච්ඤාවෙන් යුක්තව උපකාර කිරීමට අපි සළකා බැලිය යුතුවෙමු.