තුන් ඉසව් තරඟයකදී, බියවුණු තරඟකරුවන් නග්ගා ගැනීමට, මිදුම්කාරිණියක් බෝට්ටුවක් මුහුදේ තබාගෙන සිටියාය. “බෝට්ටුව මැදට අත තියන්න එපා” ඇය පිහිණුම්කරුවන්ට කීවේ එවැනි ක්‍රියාවකින් බෝට්ටුව පෙරළිමට ඉඩ ඇති නිසාය. ඒ වෙනුවට, වෙහෙසටපත් පිහිණුම්කරුවන්ව ඇය බෝට්ටුවේ ඉදිරියට සහ පසුපසට යන ලෙසට මඟපෙන්වූවාය. පිහිණුම්කරුවන්ට ඒ ස්ථාන වල තිබූ වළලු අල්ලා ගැනීමෙන් බෝට්ටුව ආරක්‍ෂිතව ගොඩට ගෙන යාමට ඇයට හැකි විය.

ජීවිතය හෝ මිනිසුන් අපව ගිල්වන්නට උත්සාහ කරන විට, යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස අපට මිදුම්කරුවෙකු සිටින බව අපි දන්නෙමු. “ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියන සේක: බලව, මමම මාගේ බැටළුවන් ගැන විභාගකර, උන් බලාගන්නෙමි …… උන් විසිර ගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි” (එසකියෙල් 34:11-12).

දෙවියන්වහන්සේගේ සෙනඟ පිටුවහල්ව සිටි කාලයේ එසකියෙල් අනාගතවක්තෘ දුන් සහතිකය එයයි. ඔවුන්ගේ නායකයින් ඔවුන්ව නොසළකා, සූරාකා, ඔවුන්ගේ ජීවිත මිරිකා දමමින්, “තමන්ම පෝෂණය කරගත්තෝය” (8 පදය). එහි ප්‍රතිඵලයක් ලෙස සෙනඟ මුළු පොළෝතලයෙහි විසිරගියෝය; උන් සොයන්ට හෝ බලන්ට හෝ කිසිවෙක් නොවීය”(6 පදය).

නමුත් “මම මාගේ රැළ ගළවාගන්නෙමි” (10 පදය) යන උන්වහන්සේගේ පොරොන්දුව තවමත් වලංගුය.

අප කළ යුත්තේ කුමක්ද? දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පොරොන්දු තදින් අල්ලා ගැනීමය. “මමම මාගේ බැටළුවන් ගැන විභාගකර, උන් බලාගන්නෙමි” (11 පදය) උන්වහන්සේ කියන සේක. එය තදින් අල්ලාගැනීමට වටින පොරොන්දුවකි.