2වන ලෝක මහ යුද්ධය කාලයේ මාගේ පියා මාගේ මවට ලියූ ලිපි ගොන්නක් මම කියවීමි. ඔහු උතුරු අප්‍රිකාවේ සිටි අතර මාගේ මව එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ සිටියාය. පියා එකල අමෙරිකා හමුදාවේ දෙවන ලුතිනන්වරයකු ලෙස සේවය කළ අතර සොල්දාදුවන්ගේ ලිපි වාරණය ඔහුට අයත් රාජකාරියක් විය. ඒ සතුරාගෙන් සංවේදී තොරතුරු වසන් කිරීමටය. තම භාර්යාවට ලියූ ලිපිවලද, 2වන ලුතිනන් ජෝන් බ්‍රැනන් විසින් වාරණය කරන ලදී යනුවෙන් මුද්‍රණය කර තිබීම හාස්‍යජනක විය. ඔහු තමාගේම ලිපි වලින් සමහර පේළි කපා හැර තිබුණි.

අප සියල්ලන්ටම තමන්ව සෝදිසි කරගැනීම හොඳ අදහසකි. බයිබලයේ කිහිප විටක්ම, දෙවියන්වහන්සේට ගෞරවය නොදෙන වැරදි දේ අප තුළ ඇත්දැයි සොයා ගැනීම පිණිස, අපවම පරික්‍ෂා කරගැනීමේ වැදගත්කම ලේඛකයෝ පෙන්වා දී ඇත. උදාහරණයක් ලෙස ගීතිකාකරු “දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරික්‍ෂා කොට, මාගේ සිතිවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව” (ගීතාවලිය 139:23-24) යනුවෙන් යාච්ඤා කළේය. යෙරෙමියා එය ලියන්නේ, “අපේ මාර්ග සෝදිසිකර විමසා ස්වාමින්වහන්සේ වෙතට නැවත හැරෙමු” (විලාප ගී 3:40) කියා ය. එමෙන්ම පාවුල්, රාත්‍රි භෝජනයට සහභාගිවන විට තිබිය යුතු හදවතේ තත්ත්‍වය ගැන කියන්නේ, “එක් එක්කෙනා තම තමාව සෝදිසිකොට ….” (1 කොරින්ති 11:28) යනුවෙනි.

දෙවියන්වහන්සේට ප්‍රසන්න නොවන ඕනෑම ආකල්පයකින් හෝ ක්‍රියාවකින් හැරීමට ශුද්ධාත්මයාණන්වහන්සේට අපට උපකාර කිරීමට පුළුවන. එහෙයින් අද අප ලෝකයට යාමට පෙර නැවතී අපව විමසීම පිණිස ශුද්ධාත්මයාණන්ගේ උපකාර ඉල්ලා සිටිමු. ඒ “නැවත උන්වහන්සේ වෙත හැරී” උන්වහන්සේ සමඟ සහභාගිත්‍වය ඇතිකරගැනීම පිණිසය.