දේශනා සෑදීම ආරම්භ කළ කාලයේ සමහර ඉරිදා උදෑසන දේශනා වලට මම මුහුණ දුන්නේ අසරණ පණුවෙක් මෙනි. ඊට පෙර සතියේ මම හොඳ ස්වාමිපුරුෂයෙක්, පියෙක් හෝ හොඳ මිතුරෙක් නොවීමි. දෙවියන්වහන්සේ මාව භාවිතා කිරීමට පෙර නිවැරදි ජීවිතයේ හොඳ වාර්තාවක් මා තැබිය යුතු යයි මම කල්පනා කළෙමි. දේශනාව උපරිමයෙන් කර ඊළඟ සතියේදී හොඳටම ජීවත් වන්නේ යයි මම තීරණය කළෙමි.

එය හරි මාර්ගය නොවේ. ගලාති 3 හි දෙවියන්වහන්සේ තම ආත්මයාණන් නොකඩවා ලබා දී එය නොමිළයේ දෙන ත්‍යාගයක් ලෙසට අප තුළින් බලවත් ලෙස ක්‍රියා කරන බව පැවසේ. එය අප කළ ක්‍රියාවන් නිසා හෝ අපි සුදුස්සන් නිසා හෝ නොවේ.

ආබ්‍රහම්ගේ ජීවිතය මෙය හොඳින් ප්‍රදර්ශනය කරයි. සමහර කාල වලදී ඔහු ස්වාමිපුරුෂයෙක් ලෙස වරද්දා ගත්තේය. උදාහරණයක් ලෙසට තමන්ගේ ජීවිතය බේරා ගැනීමට ඔහු දෙවරක් සාරාගේ ජීවිතය අවදානමට ලක් කළේය (උත්පත්ති 12:10-20; 20:1-18). එහෙත් ඔහුගේ ඇදහිල්ල ඔහුව ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබීය (ගලාති 3:6). ඔහුගේ පරාජයන් මධ්‍යයෙහි ඔහු දෙවියන්වහන්සේගේ හස්තයට භාර විය. දෙවියන්වහන්සේ ඔහුගේ පරම්පරාව තුළින් ගැළවීම ගෙන එන පිණිස ඔහුව භාවිතා කළ සේක.

අයහපත් ලෙස ජීවත් වීමට සාධාරණ පදනමක් නැත. කීකරුකමෙන් උන්වහන්සේව අනුගමණය කරන්න යැයි යේසුස්වහන්සේ කියන සේක. උන්වහන්සේ ඊට අවශ්‍ය දේ සපයන සේක. දැඩි එසේම පසුතැවිලි නොවන හදවතක් උන්වහන්සේ අප කෙරෙහි තබා ඇති අරමුණුවලට බාධාවක් වනු ඇත. නමුත් අපව භාවිතා කිරීමේ උන්වහන්සේගේ හැකියාව පවතින්නේ යහපත් හැසිරීමේ දීර්ඝ ක්‍රියාවලියක නොවේ. එය පවතින්නේ අප ඉන්නා හැටියටම අප තුළින් ක්‍රියා කිරීමට දෙවියන්වහන්සේ තුළ ඇති කැමැත්ත මතය. අනුග්‍රහයෙන් ගැළවීම ලබා අපි වර්ධනය වන්නෙමු. උන්වහන්සේගේ අනුග්‍රහය වෙනුවෙන් ඔබ වැඩ කළ යුතු නැත. එය නොමිළයේ ලැබෙන්නකි.