මම එය දකින විට මා නිවස අසළටම පැමිණ සිටියෙමි. මාගේ කාරයේ ඌෂ්ණ කටුව ඉහළට ගොස් තිබුණි. මම එන්ජිම නතර කර පිටතට පැන්නෙමි. වහලයෙන් දුම් පිට විය. එන්ජිම මාළු බදිනවාක් මෙන් සුරු සුරු ගෑවේය. මම මෝටර් රථය අඩි කිහිපයක් පස්සට කරද්දී එහි යට පොකුණක් මෙන් පෙණුනි. තෙල්. ක්‍ෂණයකින් මට සිදුවී ඇති දෙය වැටහුණි. හෙඩ් එක පුපුරා තිබුණි.

මම කෙඳිරි ගෑවෙමි. මෝටර් රථයේ වෙනත් කොටස්වල අලුත්වැඩියාව සඳහා අපි මෑතකදී මුදල් යොදවා තිබුණි. “ඇයි මේවා හරියට වැඩ කරන්නේ නැත්තේ?” මම කෙඳුරුවෙමි. “ඇයි මේවා නොකැඩී තියෙන්නේ නැත්තේ?”.

ඔබටද මේ හා සමාන අත්දැකීම් ඇත. එක ප්‍රශ්නයක් විසඳා ගත් විට තව ගැටළු මතුවේ. එක් විශාල මිළක් ගෙවා දමන විට තව එකක් එන්නේය. සමහර විට ඒ කරදර එන්ජිමක් විනාශ වෙනවාටත් වඩා විශාලය. බලාපොරොත්තු නොවූ රෝග සොයා ගැනීමක්, අකල් මරණයක් හෝ විශාල පාඩුවක් වැනි දේ.

ඒ අවස්ථාවලදී අපි අඩුවෙන් බිඳුණු කරදර අඩු ලෝකයකට ආශා කරමු. යේසුස්වහන්සේ පොරොන්දුවූ ඒ ලෝකය එන්නේය. නුමුත් දැන්ම නොවේ. උන්වහන්සේ යොහන් 16 හි තම ගෝලයන්ට සිහිපත් කළේ “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යයමත් වන්න. මම ලෝකයෙන් ජයගතිමි” (33 පදය) කියාය. යේසුස්වහන්සේ එම පරිච්ඡේදයේ ගැඹුරු අර්බූද එනම් ඔබගේ ඇදහිල්ලට පැමිණෙන පීඩා යනාදිය ගැන කථා කළ සේක. නමුත් එවැනි කරදර උන්වහන්සේව විශ්වාස කරන අයට අවසන් තීරණය නොවේ.

අපගේ දවස් තුළ විශාල හෝ කුඩා කරදර එනු ඇත. උන්වහන්සේ සමග අපට යහපත් හෙට දවසක් පොරොන්දුවූ යේසුස්වහන්සේ කරදරවලට අපව පාලනය කිරීමට නොදෙන්න කියා අපව දිරිගන්වන සේක.