ජෝර්ජ් වොෂිංටන් පාලම හරහා ජුලියෝ බයිසිකලයක් පදිමින් සිටියේය. එය නිව්යෝර්ක් සහ නිව් ජර්සි යා කරන කාර්ය බහුල තට්ටු දෙකේ පාලමකි. එහිදී ඔහු ජීවිතයත් මරණයත් අතර තත්ත්වයක් දුටුවේය. පාලමේ සිට ගඟට පැනීමට මිනිසෙකු තැත් කරමින් සිටියේය. වෙලාවට පොලිසිය පැමිණෙන්නේ නැති බව දැනගත් ජූලියෝ ක්‍ෂණිකව ක්‍රියාත්මක විය. ඔහු බයිසිකලයෙන් බැස දෑත් දිගු කොට “ඕක කරන්න එපා. අපි ඔබට ආදරෙයි” වැනි යමක් කී බව ඔහු සිහිපත් කළේය. ඉන්පසු එඬේරෙකු තම කොක්කෙන් බැටළුවෙකු අල්ලා ගන්නාක් මෙන් තවත් කෙනෙක්ගේ උපකාරයෙන් ඔහු කලබල වී සිටි මිනිසා අල්ලා ගත්තේය. වාර්තාවන්ට අනුව මිනිසාව ආරක්‍ෂිත ස්ථානයකට ගෙනා පසුත් ජුලියෝ ඔහුට යන්ට නෑරියේය.

සහස්‍ර දෙකකට පෙර ජීවිතය සහ මරණය අතර සටනකදී අපගේ යහපත් එඬේරාණන් වන යේසුස්වහන්සේ උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් ගැළවීම පිණිස තම ජීවිතය පූජා කරන බවත් කිසි දිනෙක ඔවුන් අත් නාරින බවත් කී සේක. උන්වහන්සේ තම බැටළුවන්ට ආශිර්වාද කරන ආකාරය කෙටියෙන් ප්‍රකාශ කළ සේක. ඔවුන් පුද්ගලිකව උන්වහන්සේව දැන ගන්නවා ඇත. ඔවුන් සාදාකාල ජීවනයේ ත්‍යාගය ලබා ගන්නවා ඇත. ඔවුහු කිසිදා විනාශ නොවන්නෝය. උන්වහන්සේගේ රැකවරණය තුළ සුරක්‍ෂිත වන්නෝය. මෙම සුරක්‍ෂිතභාවය යැපෙන්නේ දුර්වල, අසරණ බැටළුවන්ගේ හැකියාව මත නොවේ. ඔවුන්ව තම “අතින් උදුරා” ගැනීමට නොදෙන එඬේරාණන්ගේ හැකියාව මතය (යොහන් 10:28-29).

අප කලකිරී කිසිවක් කර කියා ගැනීමට නොහැකිව ඉන්නා විට යේසුස්වහන්සේ අපව ගළවා ගත් සේක. දැන් උන්වහන්සේ තුළ අපගේ සම්බන්ධතාවයේදී අප සුරක්‍ෂිත යයි අපට හැඟී යන්නේය. උන්වහන්සේ අපට ප්‍රේම කරන සේක. අප පසුපස එන සේක. අපව සොයා ගන්නා සේක. ගළවා ගන්නා සේක. කිසි දිනෙක අපව අත් නාරින බවට පොරොන්දු වන සේක.