දෙහැවිරිදි කෙනත් නැති වුනි. නමුත් ඔහුගේ මව 119 ට දුන් දුරකථන ඇමතුම නිසා සමාජ සේවකයෙකු ඔහුව සොයා ගත්තේය. ඔහු තම නිවසට නුදුරු නගරයේ පොළෙහි අතරමංවී සිටියේය. එදින සවස් කාලයේ තම සීයා සමග පොළට යා හැකි බවට ඔහුගේ මව ඔහුට පොරොන්දු වී තිබුණි. නමුත් ඔහු තම සෙල්ලම් ට්‍රැක්ටරය පදවාගෙන එහි ගොස් ඔහු කැමතිම තැන එය නැවැත්වීය. දරුවා ආරක්‍ෂිතව නිවසට පැමිණි පසු ඔහුගේ පියා ඔහුට නොදැනෙන්න සෙල්ලම් ට්‍රැක්ටරයේ බැටරිය ගළවා දැමුවේය.

කෙනත්ට අවශ්‍ය ස්ථානයට යාමට ඔහු දක්‍ෂ විය. නමුත් දෙහැවිරිදි අයෙක්ට අවශ්‍ය ගුණාංගයක් නොතිබේ. ඒ ප්‍රඥාවයි. සමහර විට වැඩිහිටියන් වන අපටද එය නැත්තේය. තම පියවූ දාවිත් විසින් රජු ලෙස සාලමොන්ව පත් කළ විට ඔහු කීවේ තමා දරුවෙකු යයි හැඟෙන බවය (1 රාජාවලිය 2). දෙවියන්වහන්සේ සිහිනයකින් පෙනී ඔහුට කීවේ “මා විසින් නුඹට දිය යුතු දෙය ඉල්ලන්න” (3:5) කියාය. “මා වනාහි කුඩා ළමයෙක්මි. පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි….. එබැවින් යහපත හා නපුර දැනගන්ට පුළුවන් වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව” (7-9 පද) කියා සාලමොන් පිළිතුරු දුන්නේය. ස්වාමින් වහන්සේ සාලමොන්ට “මුහුදු වෙරළේ වැල්ල මෙන් විශාලවූ සිහියක් දුන් සේක” (4:29).

අපට අවශ්‍ය ප්‍රඥාව අප ලබා ගන්නේ කොහෙන්ද? “ප්‍රඥාවේ පටන් ගැන්ම නම් ස්වාමින්වහන්සේ කෙරෙහි භය වීමය” (හිතෝපදේශ 9:10) කියා සාලමොන් කීවේය. ඒ හෙයින් උන්වහන්සේ ගැන අපට උගන්වන්න කියාද අපගේ ප්‍රඥාවට වඩා උසස් ප්‍රඥාවක් දෙන්න කියාද උන්වහන්සේගෙන් ඉල්ලමින් අපට පටන්ගත හැකිය.