සෑම රාත්‍රියකම කාලෙබ් නිදියන පිණිස ඇස් වසාගන්නා විට අඳුර ඔහුව වසා ගන්නා බව ඔහුට දැනේ. කොස්ටා රිකා හි ඔහුගේ ලෑලි නිවසේ නිශ්චලතාවය විටින් විට ලෑලි ඇතිල්ලීමේ ශබ්ද වලින් බිඳෙන්නේය. එවිට උඩු මහලේ වව්ලෝ වඩාත් ක්‍රියාත්මක වන්නෝය. ඔහුගේ මව රාත්‍රී විදුලි බල්බයක් ඔහුගේ කාමරයේ දැල්වුවද තරුණයා තවමත් අඳුරට භිය වූයේය. දිනක් කාලෙබ්ගේ පියා ඔහුගේ ඇඳ පත්තේ බයිබල් පදයක් ඇලවීය. එහි තිබුණේ “ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. තැති නොගනින්න. නොකැළඹෙන්න… නුඹේ දෙවියන්වහන්සේ නුඹ සමග සිටින සේක” (යෝෂුවා 1:9) යන්නයි. කාලෙබ් සෑම රාත්‍රියකම එය කියවන්න පටන් ගත්තේය. ඔහු දෙවියන්වහන්සේගේ පොරොන්දුව ඇඳ පත්තේ සිට ඔහු සමග විශ්ව විද්‍යාලය දක්වා ගියේය.

යෝෂුවා 1 හි මෝසෙස් මිය ගිය පසු යෝෂුවාට නායකත්වය ලැබෙනවා අපි කියවමු. “ශක්තිමත්ව ධෛර්යවත්ව” සිටීමට සඳහන් වන අණ යෝෂුවාට සහ ඉශ්‍රායෙල්වරුන්ට නැවත නැවත කියන ලද්දේ එහි ඇති වැදගත්කම අවධාරණය කිරීම පිණිසය (6-7, 9) පද. ඔවුන් අවිනිශ්චිත අනාගතයකට මුහුණ දෙන විට ඔවුන්ට චකිතයක් ඇතිවෙන්න ඇති. නමුත් දෙවියන්වහන්සේ ඔවුන්ට සහතික වෙමින් පවසන්නේ “මම මෝසෙස් සමග සිටියාක් මෙන් නුඹ සමගත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි. නුඹ අත් නාරින්නෙමි” (5 පදය) කියාය.

බිය ඇතිවීම ස්වාභාවිකය. නමුත් අඛණ්ඩ බියකින් සිටීම අපගේ භෞතික සහ ආත්මික සුවයට හානිකරය. පුරාණයේ තම සේවකයින්ට දෙවියන්වහන්සේ ධෛර්යය දුන් ලෙස අපටද ශක්තිමත්ව ධෛර්යවත්ව සිටිය හැක්කේ අපට පොරොන්දු දුන් තැනන්වහන්සේ අප සමග සෑම විටම සිටින හෙයිනි.