අපගේ විසිපස්වෙනි විවාහ සංවත්සරය සැමරීමට චාරිකාවක් ගිය අපි ලා ප්ලායා හි වෙරළේ සිට අපගේ බයිබල් කියවීමු. වෙළෙන්දන් තම බඩුවල මිළ ගණන් කියමින් අප පසුකර ගෙන ගියෝය. අපි ඔවුන්ට ස්තුති කළ නමුත් කිසි දෙයක් මිළදී නොගත්තෙමු. එක් වෙළෙන්දෙක් වන ප්‍රනාන්දු මාගේ ප්‍රතික්‍ෂේපය සිනා මුසු මුහුණින් පිළිගෙන අපගේ මිතුරන්ට තෑගි ගන්නැයි නැවත කීවේය. මම එය නොපිළිගත් විට ප්‍රනාන්දු පෙට්ටිය කර මත තබා ගෙන තවමත් සිනහසෙමින් යන්නට සැරසුණේය. “ඔබගේ දවසට ආශිර්වාද කරන්න කියා මම දෙවියන්වහන්සේට යාච්ඤා කරනවා” මම කීවෙමි.

ප්‍රනාන්දු නැවත හැරී “උන්වහන්සේ එසේ කර තිබේ. උන්වහන්සේ මගේ ජීවිතය වෙනස් කළා” කියා කීවේය. ප්‍රනාන්දු අප දෙදෙනාගේ පුටු අතර දණ ගසා “මට උන්වහන්සේගේ අභිමුඛය මෙතැන දැනෙනවා” කියා කීවේය. වසර දහහතරකට පෙර ඔහුව මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් දෙවියන්වහන්සේ නිදහස් කළ ආකාරය ගැන ඔහු අප සමග බෙදා ගත්තේය.

ගීතාවලිය පොතේ හැම ගීතයක්ම කටපාඩමින් කියමින් ඔහු අපට යාච්ඤා කරන විට මගේ ඇස් වලින් කඳුළු ගලන්න පටන් ගත්තේය. ලා ප්ලායා හි අපි එකට එක්ව උන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ අභිමුඛයෙහි ප්‍රීති වීමු.

ගීතාවලිය 148 ප්‍රශංසාවේ යාච්ඤාවකි. ගීතිකාකරු සියලු මැවිල්ල “ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා. මක්නිසාද උන්වහන්සේ අණ කළ සේක. එවිට ඒවා මවන ලද්දේය” (5 පදය) යනුවෙන් අපව දිරි ගන්වන්නේය. “මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය” (13 පදය).

අපගේ අවශ්‍යතා උන්වහන්සේ ඉදිරියට රැගෙන අවුත් විශ්වාස කරන්න කියා දෙවියන්වහන්සේ කියතත් උන්වහන්සේ අපට සවන් දෙන සේක. අප ගැන සළකන සේක. අපි කොහේ සිටියත් ලා ප්ලායා හි සිටියත් උන්වහන්සේ කෘතඥතා ප්‍රශංසාවන්ට ප්‍රිය කරන සේක.