රමේෂ් අන් අයට යේසුස්වහන්සේ ගැන කීමට කැමතිය. ඔහු තමන් සමඟ සේවය කරන අය සමඟ නිර්භීතව කථාකරන අතර මසකට එක් සති අන්තයක් ඔහුගේ ගමට ගොස් ගෙයින් ගෙයට ශුභාරංචි ප්‍රකාශ කරන්නේය. ඔහුගේ උද්යෝගය බෝවන සුළුයි, විශේෂයෙන්ම ඔහු විවේක ගැනීමේ වටිනාකම ඉගෙනගෙන ඇති නිසයි.

රමේෂ් සෑම සති අන්තයකම සහ බොහෝ සන්ධ්‍යාවන්හි ශුභාරංචිය ප්‍රකාශ කරමින් කාලය ගත කළේය. ඔහු නිවසින් පිටව ඉන්නා අවස්ථාවන්වල ඔහුගේ භාර්යාව සහ දරුවන්ට පාළුවක් සහ ඔහු නැති අඩුව දැණුන අතර ඔහු නිවසේ සිටි අවස්ථාවන් ඔවුන්ට වෙහෙසකර බවක් දැණුනේය. සෑම විනාඩියක්ම සෑම සංවාදයක්ම ගණනය කිරීමට ඔහුට අවශ්‍ය විය. ඔහුට සරල කථාබහ හෝ ක්‍රීඩා තුළින් විනෝදයක් ලබන්නට නොහැකි විය. රමේෂ් ඔහු තුළම සිරවී සිටියේය.

ඔහුගේ භාර්යාවගේ අවංක වචන, මිතුරන්ගේ අවවාද සහ තරමක් අපැහැදිලි බයිබල් පද තුළින් ඔහුගේ අසමතුලිතභාවය පිළිබඳ ඔහුට තේරුම් ගියේය. හිතෝපදේශ 30 ඉතා සරල දේවල් ගැන සඳහන් කර ඇත, එනම් කූහුඹියන්, කුකුළන් සහ පලඟැටියන්- “හූනා අතින් අල්ලාගත හැකි සතෙකි එහෙත් ඌ රජ මැදුරුවල සැරිසරයි” (28පදය) යනුවෙන් පුදුමය ප්‍රකාශ කරයි.

මෙතරම් සාමාන්‍ය දේවල් බයිබලයට ඇතුලත් වූවේ කෙසේද කියා රමේෂ් කල්පනා කළේය. හූනන් නිරීක්‍ෂණය කිරීමට සෑහෙන කාලයක් වැය කළ යුතුයි. කෙනෙක් මාලිගාව තුළ හූනෙක් දුවනවා දැක, මේක මහ පුදුමයක් යයි සිතා තවදුරටත් ඒගැන විමසන්නට නැවතී බලා සිටියා. දෙවියන්වහන්සේ හූනා ගැන බයිබලයට ඇතුලත් කළේ අපගේ වැඩකටයුතු සමඟ විවේකයත් මිශ්‍ර කළ යුතු බව අපට මතක් කිරීමට විය හැකියි. හූනන් ගැන දවල් හීන දකින්නට, අපේ දරුවන් සමඟ එකෙක් අල්ලාගන්නට සහ අපගේ පවුල සමඟ විවේකයක් ගන්නට අපට කාලය අවශ්‍යයි. වැඩ කරන්නට, සේවය කරන්නට සහ විවේක ගන්නට කාලය වෙන්කර ගැනීමට දෙවියන්වහන්සේ අපට ප්‍රඥාව දෙන සේක්වා!