අපගේ නිවස මිලදී ගත් විට, එහි සිටුවා තිබූ මිදි වැලද අපට උරුම විය. ගෙවතු වගාවට ආධුනිකයන් වූ අප එය කප්පාදු කිරීම, වතුර දැමීම සහ රැකබලා ගැනීම පිළිබඳ ඉගෙනගන්නට සෑහෙන කාලයක් වැය කළෙමු. අපගේ පළමුවැනි අස්වැන්න ලැබුණු විට, මම මිදිවැලෙන් ගෙඩියක් කඩා කටේ දාගත්තෙමි. නමුත් එහි අමිහිරි ඇඹුල් රස දැණුන විට මගේ බලාපොරොත්තු සුන් විය.

මිදිවැලක් ඉතා අමාරුවෙන් රැකබලාගෙන එහි තිත්ත අස්වැන්න පිළිබඳ මට දැණුන කලකිරීම යෙසායා 5 හඬට සමානය. අප කියවන්නේ ඉශ්‍රායෙල් ජාතිය සමඟ දෙවියන්වහන්සේ පැවැත්වූ සම්බන්ධතාවය පිළිබඳ උපමා කථාවකි. දෙවියන්වහන්සේ, ගොවියෙකු ලෙස නිරූපණය කර ඇති අතර ඔහු කන්ද ශුද්ධ පවිත්‍ර කර, හොඳ මිදි පැල සිටුවා, ආරක්‍ෂාව සඳහා මුරටැඹයක් ඉදිකර, මිදියුෂ ලබාගැනීමට යන්ත්‍රයක්ද සැකසුවේ ඔහුගේ අස්වැන්නේ ඵල භුක්ති විඳීමටය (යෙසායා 5:1-2). නමුත් ගොවියාගේ කළකිරීමට, ඉශ්‍රායෙලය නියෝජනය කරන ඒ මිදිවත්ත, ආත්මාර්ථකාමිත්‍වය, අසාධාරණය සහ පීඩාව වැනි ඇඹුල් රස ඇති මිදි නිපදුවේය (7 පදය). අවසානයේ, අකැමැත්තෙන් වුවද දෙවියන්වහන්සේ, කෙදිනක හෝ හොඳ අස්වැන්නක් නිපදවන්නට මිදිවැල් වලින් කොටසක් ඉතිරි කරමින්, ඒ මිදිවත්ත විනාශ කළසේක.

යොහන් ශුභාරංචියේ යේසුස්වහන්සේ නැවතත් මිදිවැලේ උපමාව පෙන්නුම් කරමින්, “මිදි වැල මමය. ඔබ අතුය. යමෙක් මා තුළ සිටින්නේද, මම ඔහු තුළ සිටිම් ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි.” (යොහන් 15:5) යි කී සේක. මෙම සමාන්තර නිරූපණයෙන් යේසුස්වහන්සේ, උන්වහන්සේ තුළ ඇදහිලිවතුන්, ප්‍රධාන මිදිවැල වන උන්වහන්සේට සම්බන්ධ අතු මෙන් පෙන්වන සේක. දැන්, උන්වහන්සේගේ ආත්මයාණන් මත, යාච්ඤාව තුළින් යැපෙමින්, අපි උන්වහන්සේට සම්බන්ධව පවතින විට, ප්‍රේමය නම් මිහිරිතම ඵලය නිපදවන ආත්මික පෝෂණයට ඍජුවම සම්බන්ධකම් අපට ලැබෙනවා ඇත.