එක් කාන්තාවක් තම සභාපාලකවරයාට පැමිණිලි කරමින් එතුමාගේ දේශනාවල සමහර කොටස් නැවත නැවත කියවෙන බව පෙන්වා දුන්නාය. “ඔබතුමා ඇයි එහෙම කරන්නෙ?” ඇය ඇසුවාය. “මිනිසුන්ට අමතක වෙනවා”, දේශකයා පිළිතුරු දුන්නේය.

අපට අමතක වීමට බොහෝ හේතු තිබෙනවා . කාලය ගෙවී යාම, වයසට යාම හෝ වැඩ අධික වීම යනාදිය. අපට මුරපද (පාස්වර්ඩ්) අමතක වෙනවා, මිනිසුන්ගේ නම් හෝ සමහර විට අපගේ වාහනය නැවැත්වූ ස්ථානයද අමතක වෙනවා. මගේ ස්වාමිපුරුෂයා පවසන්නේ, “මගේ මොළයට ඇතුළත් කළ හැක්කේ යම් ප්‍රමාණයක් පමණයි. අලුත් දෙයක් මතක තබාගන්නට පෙර මට සමහර දේවල් මකාදමන්නට සිදුවෙනවා” යනුවෙනි.

දේශකයා කී දේ නිවැරදියි. මිනිසුන්ට අමතක වෙනවා. එමනිසා දෙවියන්වහන්සේ අප වෙනුවෙන් කර තිබෙන දේ මතක තබාගන්නා පිණිස අපට නිතරම මතක් කරන්නට සිදුවෙනවා. ඉශ්‍රායෙල්වරුන්ටත් එවැනි ප්‍රවනතාවක් තිබිණ. බොහෝ හාස්කම් මධ්‍යයෙහි පවා, දෙවියන්වහන්සේගේ රැකවරණය පිළිබඳ ඔවුන්ට මතක්කරන්නට සිදුවී තිබිණ. ද්විතීය කථාව 8 හි, ඉශ්‍රායෙල්වරුන්ට පාළුකරයේ සාගින්න අත්දැකීමට දෙවියන්වහන්සේ ඉඩදුන් බවත් එලෙසම ඔවුන්ට දිනපතා විශ්මිත සුපිරි ආහාරයක්, එනම් මන්නා, සැපයූ බවත් උන්වහන්සේ මතක් කර දුන් සේක. කිසිදා ගෙවී නොගිය ඇඳුම් උන්වහන්සේ සැපයූ සේක. සර්පයින් සහ ගෝනුස්සන් ඇති පාළුකරයක් තුළින් උන්වහන්සේ ඔවුන්ව ගෙන ගොස් පර්වතයකින් ජලය සැපයූ සේක. දෙවියන්වහන්සේගේ රැකවරණය සහ සැපයීම මත ඔවුන් කොයිතරම් රඳාපැවතුනාද කියා තෙරුම්ගැනීමෙන් ඔවුන් යටහත් පහත්කම ඉගෙන ගත්තේය (2-4, 15-18පද).

දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම “සියළු පරම්පරා දක්වා පවතින්නේය” (ගීතාවලිය 100:5). අමතකවීගෙන යන බව අපට දැනෙන අවස්ථාවලදී, උන්වහන්සේ අපගේ යාච්ඤා වලට පිළිතුරු දී ඇති ආකාර සිහිකරගත්විට උන්වහන්සේගේ යහපත්කම සහ විශ්වාසවන්ත පොරොන්දු අපට මතක් වනවා ඇත.