වෝල්ටර් ඩික්සන්ට කොරියානු යුද්ධයට යාමට නැව් නැගීමට පෙර තම මධුසමය ගත කිරීමට තිබුණේ දින 5ක් පමණි. වසරක් ගතවීමටත් පෙර, සොල්දාදුවන්ට යුධපිටියේ හමුවුනේ, සාක්කුවල තම භාර්‍ය්‍යාවගෙන් ලැබූ ලිපි පුරවාගෙන තිබූ ඩික්සන්ගේ කබාය යි. හමුදා නිලධාරීන් ඔහුගේ තරුණ භාර්‍ය්‍යාවට දැනුම් දුන්නේ ඇගේ ස්වාමිපුරුෂයා ක්‍රියාන්විතයේ මියගොස් ඇති බවය. ඇත්තෙන්ම, ඩික්සන් ජීවත්ව සිටියා. ඔහු ඊලඟ වසර 2 1/2 යුධ සිරකරුවෙක් ලෙස ගත කළා. අවදිව සිටි සෑම පැයකම ඔහු ගෙදර යන ආකාරය සැළසුම් කළා. ඩික්සන් පස්වරක් පැනලා ගිය නමුත් හැම අවස්ථාවේම නැවත අල්ලාගනු ලැබුවා. අවසානයේ ඔහුට නිදහස ලැබුනා. ඔහු නැවත ගෙදරට පැමිණි විට ඔවුන් මොන තරම් පුදුම වුනා දැයි ඔබට සිතා ගත හැකියි!

දෙවියන්වහන්සේගේ සෙනඟ, සිරකරුවන් ලෙස අල්ලා ගනු ලැබ ඈත ප්‍රදේශයකට ගෙන ගොස් නැවත ගෙදර එන තෙක් බලා සිටීම කුමන ආකාරද කියා හොඳින් දැන සිටියා. දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගැසීම හේතුවෙන් ඔවුන් වහලුන් විය. ඔවුන් සෑම උදෑසනකම ගෙදර යාමේ දැඩි ආශාවක් ඇතිව ඇහැරුණ නමුත් ඔවුන්ට ගැළවීමට මඟක් නොතිබුණි. ස්තුතිවන්ත විය හැකි කාරණයක් නම් ඔවුන් අමතක නොකළ බව දෙවියන්වහන්සේ පොරොන්දු වී තිබීමයි. “… ඔවුන් නැවත ගෙනෙන්නෙමි, මක්නිසාද මම ඔවුන්ට අනුකම්පා කරමි” (සෙකරියා 10:6). නැවත ගෙදර එන්නට ඔවුන්ට තිබූ නොනවතින ආශාව උන්වහන්සේට දැනෙන්නේ ඔවුන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා නොව උන්වහන්සේගේ දයාව හේතුකොටගෙනය: “ඔවුන් කැඳවා රැස්කරන්නෙමි …… ඔවුන් හැරී එනවා ඇත” (සෙකරියා 10:8-9).

අපට පිටුවහල් කරනු ලැබීමේ හැඟීම් පැමිණෙන්නේ අපගේ වැරදි තීරණ හෝ අපට පාලනය කළ නොහැකි අසීරුතා නිසාය. කෙසේවෙතත්, දෙවියන්වහන්සේට අප අමතක වී නැත. උන්වහන්සේ අපගේ ආශාව දැනගෙන අප කැඳවනවා ඇත. අප පිළිතුරු දුනහොත්, අපි උන්වහන්සේ වෙතට නැවත එනවා ඇත – නැවත ගෙදර එන්නෙමු.