තම හවුල් සේවකයන් එකිනෙකා උසස්වීම් ලබද්දී බෙන්ජමින්ට ඊර්ෂ්‍යාවේ හැඟීම් පහලවීම වළක්වන්නට නොහැකි විය. “ඔබ තවම මැනේජර් කෙනෙක් වුනේ නැත්තේ ඇයි? ඔබ එයට සුදුසුයි”, මිතුරන් ඔහුට කීවේය. නමුත් ඔහුගේ රැකියාව දෙවියන්වහන්සේට භාර දීමට බෙන් තීරණය කළේය. “මෙය මට දෙවියන්වහන්සේගේ සැළැස්ම නම්, මම මගේ රැකියාව හොඳින් කරනවා”, ඔහු පිළිතුරු දුන්නේය.

වසර ගණනාවකට පසු, බෙන් ට උසස්වීමක් ලැබිණ. ඒ වන විට, ඔහුගේ අමතර අත්දැකීම් හේතුවෙන් ඔහුගේ රැකියාව විශ්වාසයෙන් යුතුව කරන්නට හැකිවූ අතර ඔහු යටතේ සේවය කරන්නන්ගේ ගෞරවය ලබාගැනීමට හැකි විය. ඒ අතරතුර ඔහුගේ හවුල් සේවකයින් සමහර දෙනෙක් ඔවුන්ගේ අධීක්‍ෂණ වගකීම් සමඟ පොරබදිමින් සිටියේය. මන්ද ඔවුන් සූදානම් වීමට පෙර උසස්වීම් ලැබූ හෙයිනි. තමන්ගේ භූමිකාවට වඩාත් සූදානම් වන පිණිස දෙවියන්වහන්සේ ඔහුව “දීර්ඝ මාර්ගයකින්” ගෙන ගොස් ඇති බව බෙන් තේරුම්ගත්තේය.

දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් මිසරයෙන් පිටතට ගෙන ආ විට (නික්මයාම 13:17-18), උන්වහන්සේ දීර්ඝ මාර්ගයක් තෝරාගත් සේක. මන්ද කානාන් දේශයට යා හැකි කෙටි මාර්ගය අවදානම් වලින් පිරී තිබුණ නිසාය. බයිබල් විචාරකයින්ට අනුව, දීර්ඝ ගමන හේතුවෙන් පසුව පැමිණි සටන්වලට ඔවුන්ට ශාරීරිකව, මානසිකව සහ ආත්මිකව වඩා ශක්තිමත් වීමට කාලය ලැබුණේය.

කෙටි මාර්ගය සෑම විටම වඩාත් හොඳ මාර්ගය නොවේ. සමහර විට, අපගේ රැකියාව හෝ වෙනත් උත්සාහයන් වලදී, ජීවිතයේ වඩාත් දීර්ඝ මාර්ගය ගැනීමට දෙවියන්වහන්සේ ඉඩ දෙන්නේ, අපගේ ඉදිරි ගමනට වඩාත් හොඳින් සූදානම් වන පිණිසය. දේවල් ඉක්මණින් සිදුවන බවක් නොපෙනෙන විට, අපට දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබිය හැකිය. මන්ද උන්වහන්සේ අපට මඟපෙන්වන තැනැන්වහන්සේය.