ස්පාඤ්ඤයේ ඇන්ඩිල්ලා ප්‍රදේශයේ ලැව්ගින්නක් හේතුවෙන් අක්කර 50,000ක් පමණ දැවී අළුවී ගියේය. කෙසේවෙතත්, ඒ විනාශය මධ්‍යයේ, දීප්තිමත් කොළ පාටින් යුත් සයිප්‍රස් ගස් 1,000ක් පමණ ඉතිරිව තිබුණේය. ජලය රඳවාගැනීමේ හැකියාව හේතුවෙන් ගින්න ආරක්‍ෂාකාරීව විඳදරාගැනීමට එම ගස්වලට හැකි විය.

බබිලෝනියේ නෙබුකද්නෙසර් රජතුමාගේ පාලන කාලයේ, කුඩා මිතුරන් කණ්ඩායමක් රජතුමාගේ උදහසේ ගිණිදැල් වලින් බේරුණේය.- ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ, නෙබුකද්නෙසර් රජතුමා විසින් නිර්මාණය කරන ලද පිළිමයකට නමස්කාර කිරීම ප්‍රතික්‍ෂේප කරමින් එතුමාට කීවේ “ඇවිළෙන ගිනි උඳුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන” කියාය (දානියෙල් 3:17). අධික ලෙස කෝප වූ රජතුමා ගිනි උඳුනේ උෂ්ණත්‍වය පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයකින් වැඩි කළේය (19 පදය).

මිතුරන්ව ගින්නට තල්ලුකර දැමූ රජතුමාගේ අණ ක්‍රියාත්මක කළ සොල්දාදුවන් එම ගිණ්නේ අධික බව හේතුවෙන් පිලිස්සී මිය ගියෝය. එහෙත් නරඹන්නන් ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ “නිදහස්ව කිසි උපද්‍රවයක් නැතිව” ගින්න මැද ඇවිදිනවා දුටුවෝය. සතර වැන්නෙක්ද ගිනිඋඳුන තුළ සිටිනවා ඔවුන් දුටුවෝය. “දෙවියන්ගේ පුත්‍රයෙකු” මෙන් පෙණුනු කෙනෙක් (25 පදය). බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ මෙය යේසුස්වහන්සේ මාංශවත් වීමට පෙර දර්ශනයක් කියාය.

අප පීඩාවන් සහ බියගන්වන අවස්ථාවන්වලට මුහුණ දෙන විට යේසුස්වහන්සේ අප සමඟ සිටින සේක. අප පීඩනයට යටත්වන්නට පෙළඹවන අවස්ථාවන්හිදී, අප බිය විය යුතු නැත. දෙවියන්වහන්සේ අපට උපකාරවන්නේ කෙසේද හෝ කුමන අවස්ථාවකදීද කියා අප සැම විටම දැනගන්නේ නැති වූවත් උන්වහන්සේ අප සමඟ සිටින බව අප දන්නෙමුව. අප විඳදරාගන්නා සෑම “ගින්නක්” තුළින්ම උන්වහන්සේට විශ්වාසවන්තව සිටීමට උන්වහන්සේ අපට ශක්තිය දෙන සේක.