වසර කීපයකට පෙර මාගේ වෛද්‍යවරයා මගේ සෞඛ්‍ය තත්ත්‍වය ගැන දැඩි කථාවක් කළේය. මම ඔහුගේ වචන සිතට ගෙන ව්‍යායාම් කරන්නටත් ආහාර රටාව වෙනස් කරන්නටත් පටන්ගත්තා. කල්ගතවෙත්ම මගේ කොලෙස්ටරෝල් අගයත් මගේ ඇඟේ බරත් අඩු වූ අතර මගේ ආත්ම අභිමානය ඉහළ ගියේය. නමුත් එතරම් යහපත් නැති දෙයක් සිද්ධ වුනා: මම අනෙක් අයගේ ආහාර තේරීම් ගැන අවධානය යොමු කරමින් ඔවුන් වින්ශ්චය කරන්නට පටන්ගත්තා. බොහෝ අවස්ථාවල අපට වාසිදායක ක්‍රියාමාර්ගයක් සොයාගත් විට, අපි අන් අයව පහත්කරන්නට සහ අපව ඔසවා තබන්නට එය පාවිච්චි කරනවා. අපම සාදාගත් ප්‍රමිතිවල එල්ලී සිට අපවම සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම සහජ මිනිස් ප්‍රවනතාවක් ලෙස පෙනී යයි.

මෙවැනි දේ කිරීම සම්බන්ධයෙන් පාවුල් පිලිප්පිවරුන්ට අනතුරු ඇඟෙව්වේය. සමහරුන්, ආගමික චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතික අනුකූලතාවන් මත ඔවුන්ගේ විශ්වාසය තැබූවෝය. පාවුල් ඔවුන්ට කීවේ එවැනි දේ ගැන පුරසාරම් දෙඩීමට ඔහුට වඩාත් හේතු තිබුණ බවයි: “වෙන යමෙක් මාංශය කෙරෙහි තමන්ට විශ්වාසය තබන්ට පුළුවනැයි සිතන්නේ නම්, මට ඊට වඩා පුළුවන”(3:4). නමුත්, “ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීම” හා සාපේක්‍ෂව, ඔහුගේ පෙලපත සහ ක්‍රියාකාරිත්‍වය “කුණුකසල” හා සමාන බව පාවුල් දැන සිටියා (8 පදය). අප සිටින ආකාරයෙන්ම අපට ප්‍රේමකරන, අපව බේරාගෙන උන්වහන්සේ මෙන් වන්නට අවශ්‍ය බලය දෙන්නේ යේසුස්වහන්සේ පමණයි. උපයාගන්නට අවශ්‍ය නැත. ලකුණු තැබීම කළ නොහැක.

පුරසාරම් දෙඩීම කිසිසේත් යහපත් නොවන නමුත් ව්‍යාජ ස්ථිරභාවය මත පදනම්වූ පුරසාරම ඛේදජනකයි. වැරදි ස්ථිරභාවයෙන් පිටතට ඇවිත් අපට ප්‍රේම කරන, අප වෙනුවෙන් ජීවිතය පූජා කළ, ගැළවුම්කාරයාණන් සමඟ සහභාගිකම් පවත්වන ලෙසට ශුභාරංචිය අපට කැඳවයි.