කළුකුන් රංචුවක් හඳුන්වන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? එයට රාෆ්ටර් යනුවෙන් හැඳින්වේ. මම කළුකුන් ගැන ලියන්නේ ඇයි? මම මෑතකදී කඳුකරයේ කුඩා නිවසක සතිඅන්තයක් ගත කර නැවත නිවසට පැමිණියා. එහිදී, සෑම දිනකම, අපගේ ආලින්දය ඉදිරිපසින් කළුකුන් පේළියක් පෙළපාළියක මෙන් ගමන් කරනවා මම මවිතයෙන් බලා සිටියෙමි.

මම මීට පෙර කිසිදිනක එසේ කළුකුන් දෙස බලා සිට නැත. ඔවුන් තම දර්ශනීය නියපොතු වලින් දරුණු ලෙස පොළොව හාරති. ඉන්පසු ඔවුන් බිමට කොටමින් මොකක්දෝ සොයාගෙන කනවා. එම පළාතේ මැළවුන පඳුරු වලට කිසිවක් පවත්වාගෙන යාමේ හැකියාවක් නොපෙණින. එහෙත් මෙම කළුකුන් දුසිමක් පමණ හොඳින් තරවී සිටියේය.

එම හොඳට පෝෂණය වූ කළුකුන් දෙස බැලූ විට මතෙව් 6:26 යේසුස්වහන්සේගේ වචන මගේ මතකයට ආවේය: “ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?” එතරම් වැදගත්කමක් නැතැයි පෙනෙන පක්‍ෂීන්ට දෙවියන්වහන්සේගේ සැපයීම යේසුස්වහන්සේ උපුටාගන්නේ උන්වහන්සේ අපට දක්වන සැළකිල්ල මතක් කිරීමටය. පක්‍ෂියකුගේ ජීවිතයට වටිනාකමක් තිබෙනවා නම්, අපගේ ජීවිත ඊට වඩා කොපමණ වටින්නේද? ඊළඟට අපගේ දිනපතා අවශ්‍යතාවන් ගැන කරදර වීම (27-31පද) “පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න” (33පදය) ජීවිතයකට සංසන්දනය කරන සේක. අපගේ අවශ්‍යතාවලට උන්වහන්සේගේ බහුල සැපයීම පිළිබඳ සහතිකයක් ඇති ජීවිතයක්. මන්ද, දෙවියන්වහන්සේ ඒ කළුකුන් රංචුව ගැන සැළකිලිමත් වන්නේ නම් උන්වහන්සේ අනිවාර්යයෙන්ම ඔබවත් මාවත් රැකබලාගන්නා සේක.