රුසියානු විවාහ චාරිත්‍ර වාරිත්‍ර අලංකාරයෙන් සහ වැදගත්කමින් පිරී ඇත. ඒවායින් එක් චාරිත්‍රයක් සිදුවෙන්නේ විවාහ උත්සවයෙන් පසු යුවළ පිළිගැනීමේ සාදයේදී එහි නායකයා රැස්ව සිටින සියලු දෙනා වෙනුවෙන් යුවලට සුභපැතුම් ප්‍රකාශයක් කිරීමෙණි. එවිට සෑමදෙනාම ඔසවා ගත් වයින් වීදුරුවෙන් උගුරක් බොමින් “ගොර්කෝ! ගොර්කෝ!” කියා කෑගසයි. එහි අර්ථය නම් “තිත්තයි! තිත්තයි! ” යන්නය. අමුත්තන් එම වචනය කියා කෑගැසූ විට, නව යුවල නැඟිට එකිනෙකා සිපගනියි. එසේ කරන්නේ ඒ තිත්ත වයින් නැවත මිහිරි රස කරන පිණිසය.

යෙසායා අනාවැකි කීවේ පාළුව, විනාශය සහ පොළොව මතට එන ශාපය නැමැති තිත්ත බීම (24 පරිච්ඡේදය) අළුත් ස්වර්ගය සහ අළුත් පොළොව ගැන මිහිරි බලාපොරොත්තුවක් අප වෙත ගෙන එන බවයි (25 පරිච්ඡේදය). දෙවියන්වහන්සේ ප්‍රනීත ආහාර සහ මිහිරිතම, අනර්ඝතම පානයන්ගෙන් පිරි මංගල්‍යයක් සූදානම් කරන සේක. එය නොනවතින ආශිර්වාද, සඵලත්‍වය සහ සියළු මනුෂ්‍යයන්ට සැපයීමේ මංගල්‍යයක් වනු ඇත (25:6). ඊටත් වඩා යමක් තිබෙනවා. ධර්මිෂ්ඨ රජතුමා යටතේ සර්වපරාක්‍රම රාජ්‍යයෙහි මරණය ගිලගනු ලබන්නේය, කටුක කඳුලු පිසදමනු ලබන්නේය, නින්දාවේ ආවරණය ඉවත්කරනු ලබන්නේය (7-8 පද). එමෙන්ම උන්වහන්සේගේ සෙනඟ ප්‍රීතිවන්නෝය, මන්ද, ඔවුන් විශ්වාස කළ, බලාපොරොත්තුවූ තැණැන්වහන්සේ ගැළවීම ගෙනැවිත් ජීවිතයේ තිත්ත කුසලානය මිහිරි කරන සේක (9පදය).

එක් දිනයක, බැටළුපැටවාණන්ගේ මංගල භෝජනයේදී අපි යේසුස්වහන්සේ සමඟ සිටින්නෙමු. උන්වහන්සේ තම මනාලිය (එනම් සභාව) නිවසට පිළිගන්නා විට, යෙසායා 25 පොරොන්දුව ඉටුකරනු ලබන්නේය. වරක් තිත්තවූ ජීවිතය නැවතත් මිහිරි වන්නේය.