“උන්වහන්සේගේ පැමිණීම කිසි කණක් නොඅසනු ඇත. නමුත් මෙම පව්කාර ලෝකයේ මෘදු හදවත් ඇති අය නිසලව උන්වහන්සේව පිළිගනු ඇත. ආදරණීය ක්‍රිස්තුස්වහන්සේ ඇතුල්වන සේක”. ඒ වචන පිලිප් බෲක්ස්ගේ බොහෝ දෙනෙක් ආදරය කරන “ඕ කුඩා බෙත්ලෙහෙම” යන ගීතිකාවෙනි. එය නත්තලේ හදවත පෙන්වන්නේය. යේසුස්වහන්සේ අපගේ කැඩුණාවූ බිඳුණාවූ ලෝකයට පැමිණියේ අප පාපයෙන් ගළවා උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සෑම දෙනෙක්ටම දෙවියන්වහන්සේ සමග අලුත් සහ වැදගත් සම්බන්ධතාවයක් ලබා දෙන පිණිසය.

ගීතිකාව ලියා වසර ගණනාවකට පසු බෲක්ස් තියුණු ලෙස තමාගේ ජීවිතයේ මෙම සම්බන්ධතාවයේ ප්‍රතිඵල විස්තර කරන්නේය. “මෙය කෙතරම් පුද්ගලිකව මට හැඟේදැයි ඔබට කියන්නට මට නොහැකිය. උන්වහන්සේ මෙහිය. උන්වහන්සේ මාව දන්නා සේක. මම උන්වහන්සේව දනිමි. එය නිකම් වාක්‍යාලංකාරයක් නොවේ. එය මෙලොව තිබෙන සත්‍යයම දෙයයි. දිනෙන් දින එහි සත්‍යතාවය වැඩි වන්නේය. අවුරුදු ගෙවී යද්දී එය කෙතරම් වැඩිවනු ඇද්දැයි කෙනෙක්ට ප්‍රීතියෙන් කල්පනා කළ හැකිය”.

දෙවියන්වහන්සේගේ අභිමුඛය ගැන බෲක්ස්ගේ නිසල ස්ථීරතාවය යෙසායා පොතෙහි සඳහන් වන යේසුස්වහන්සේගේ නාමයක් පෙන්නුම් කරන්නේය. “බලව, කන්‍යාව ගර්භීණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය” (යෙසායා 7:14). මතෙව්ගේ ශුභාරංචියේ එම්මානුවෙල් යන හෙබ්‍රෙව් නමෙහි අර්ථය “දෙවියන්වහන්සේ අප සමගය” කියා පවසන්නේය (1:23).

අපි උන්වහන්සේව පුද්ගලිකව දැන ගන්නා පිණිසත් උන්වහන්සේ සමග සදාකාලයටම ජීවත් වන පිණිසත් දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ තුළින් අප වෙතට සමීප වූ සේක. සෑම ත්‍යාගයකටම වඩා විශිෂ්ඨතම ත්‍යාගය වන්නේ අප සමග වන උන්වහන්සේගේ ප්‍රේමණීය අභිමුඛයයි.