ශාස්ත්‍රීය ගීත රචක ක්‍රිස් ස්ටෙප්ලේටන්ගේ ගැඹුරු පුද්ගලික ගීතයක් වන “තාත්තා තවත් යාච්ඤා කරන්නේ නැහැ” යන්නට ආනුභාවය ලැබුණේ ඔහුගේ පියා ඔහු වෙනුවෙන් කළ යාච්ඤා නිසාය. එම තියුණු පදමාලාව පෙන්නූම් කරන්නේ ඔහුගේ පියාගේ යාච්ඤා නැවතීමට හේතුව හිත වෙනස් වීමක් හෝ වෙහෙස වීමක් නිසා හෝ නොව ඔහුගේ මරණය නිසාවෙන් බවයි. ස්ටෙප්ලේටන් පරිකල්පනය කරන්නේ දැන් ඔහු යාච්ඤාවෙන් යේසුස්වහන්සේ සමග කථා නොකර උන්වහන්සේ සමග මුහුණට මුහුණ කථා කරන බවය.

තම පියාගේ යාච්ඤා ස්ටෙප්ලේටන් මතක් කිරීම අපගේ මනසට ගෙන එන්නේ බයිබලයේ පියෙකු තම පුත්‍රයා වෙනුවෙන් කරන යාච්ඤාවකි. දාවිත් රජුගේ ජීවිතය අවසන් වෙමින් තිබුණි. ඔහු තම පුත්‍රවූ සාලමොන්ට ඉශ්‍රායෙලයේ රජු වීමට සියල්ල සුදානම් කළේය.

සාලමොන්ව ආලේප කිරීමට මුළු රට එකතු කර දාවිත් සෙනගට යාච්ඤාවෙන් මග පෙන්වීම දුන්නේය. ඒ ඔහු මීට පෙර බොහෝ විට කළ ආකාරයටය. ඉශ්‍රායෙලය කෙරෙහි දෙවියන්වහන්සේ දැක්වූ විශ්වාසවන්තකම දාවිත් මතක් කළේය. සෙනග උන්වහන්සේට විශ්වාසව සිටින පිණිස ඔහු යාච්ඤා කළේය. ඒ “ඔබගේ ආඥාද ශික්ෂාද පනත්ද පවත්වන්ටත්, … මාගේ පුත්‍රවූ සාලමොන්ට සම්පූර්ණ සිතක් දුනමැනවයි” (1 ලේකම් 29:19) කියා පවසමිනි.

අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේ තබා ඇති සෙනග ගැන යාච්ඤා කිරීමට අපටද අනර්ඝ වරප්‍රසාදයක් ඇත. විශ්වාසවන්තකමේ අපගේ ආදර්ශය අප මෙලොවින් ගිය පසුත් පවතිනු ඇත. දාවිත් ගිය පසුත් සාලමොන් සහ ඉශ්‍රායෙලය ගැන ඔහුගේ යාච්ඤාවට පිළිතුරු දෙවියන්වහන්සේ ක්‍රියාත්මක කළ ලෙස අපගේ යාච්ඤාවල ප්‍රතිඵල අපට පසුවත් පවතින්නේය.