මා කුඩා කල අපට බොහෝ ප්‍රේම කළ බෙටී නැන්දා නිවසට පැමිණෙන විට අපට නත්තල් මෙන් දැනේ. ඇය “ස්ටාර් වෝස්” සෙල්ලම් බඩු ගෙන එන්නීය. ඇය යන විට මා අතෙහි මුදල් මිට මොළවන්නේය. මම ඇය සමග සිටින විට ඇය ශීතකරණය අයිස්ක්‍රීම් වලින් පුරවා තබන්නීය. කිසි දිනෙක එළවළු ඉව්වේ නැත. ඇය අපට පැනවූයේ ඉතා සුළු නීති ප්‍රමාණයකි. රෑ බෝ වන තුරු අවදිව සිටීමට ඉඩ හැරියාය. මාගේ නැන්දා මනහරය. දෙවියන්වහන්සේගේ ත්‍යාගශීලිත්වය ඇය ප්‍රදර්ශනය කළාය. නමුත් සෞඛ්‍ය සම්පන්නව හැදී වැඩෙන්නට මට බෙටී නැන්දාගේ ක්‍රමය ප්‍රමාණවත් නොවීය. මගේ දෙමාපියන් මා කෙරෙහි හා මාගේ හැසිරීම කෙරෙහි බලාපොරොත්තු තබා සිටීමද මාව ඔවුන්ට සමීප කර තබා ගැනීමද අවශ්‍ය විය.

බෙටී නැන්දා ඉල්ලනවාට වඩා දේවල් දෙවියන්වහන්සේ මාගෙන් ඉල්ලන්නේය. උන්වහන්සේ නොනවතින ප්‍රේමයකින් එනම් අප පැන යන විට හෝ විරුද්ධ වන විට හෝ නොනවතින ප්‍රේමයකින් උන්වහන්සේ අපව වසා ගන්නා සේක. උන්වහන්සේ අපෙන් යමක් බලාපොරොත්තු වන සේක. දෙවියන්වහන්සේ ඉශ්‍රායෙලයට ජීවත් වන ආකාරය කියා දෙන විට උන්වහන්සේ පැනවූයේ ආඥා දසයක් මිස යෝජනා දසයක් නොවේ (නික්මයාම 20:1-17). අපි අපවම රවටා ගන්නා බව දැන සිටි දෙවියන්වහන්සේ පැහැදිළි බලාපොරොත්තුවක් ඉදිරිපත් කළ සේක : අපි දෙවියන්වහන්සේට (ප්‍රේම කර) උන්වහන්සේගේ ආඥා ක්‍රියාත්මක කළ යුතු වෙමු (1 යොහන් 5:2).

ස්තුතිවන්ත විය හැකි කාරණයක් නම් දෙවියන්වහන්සේගේ ආඥා බර නැත (3 පදය). ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් අපට දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ ප්‍රීතිය භුක්ති විඳිමින් ඒවා ක්‍රියාත්මක කළ හැකිය. උන්වහන්සේගේ ප්‍රේමය නවතින්නේ නැත. අප නැවත උන්වහන්සේට ප්‍රේම කරනවාද කියා දැන ගැනීමට දේව වචනය අපට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේය: අපි ආත්මයාණන්වහන්සේ මග පෙන්වන ලෙසට උන්වහන්සේගේ ආඥාවලට කීකරු වන්නේද?

දෙවියන්වහන්සේට ප්‍රේම කරන බව අපට කිව හැකිය. නමුත් අපි උන්වහන්සේගේ ශක්තියෙන් කරන දෙය සත්‍ය කථාව කියයි.