එක් උදෑසනක මම අපේ ගෙය අසළ ඇති පොකුණ වෙත ගියෙමි. එහි තිබු පෙරළුණු බෝට්ටුවක් මත වාඩි වීමි. බටහිර සුළඟක් ජලය මත තිබූ මීදුම් වලා පටලයක් පහ කර දමන අයුරු මම කල්පනා කරමින් බලා සිටියෙමි. මීදුම් ගුලි එහේ මෙහේ කැරකුණි. කුඩා සුළි කුණාටු නැග අවුත් පසුව වෙහෙසට පත් විය. වැඩි වේලාවක් යන්නට මත්තෙන් හිරු එළිය වලාකුල් අතරින් අවතීර්ණ වී මීදුම නොපෙනී ගියේය.

දර්ශනය මට සහනය දුන්නේය. ඊට හේතුව මා දැන් කියවූ පදය සමග එය මා සම්බන්ධ කළ නිසාය. “මම නුඹේ අපරාධ වලාපටළයක් මෙන්ද නුඹේ පාප වලාකුළක් මෙන්ද මකාදැමුවෙමි” (යෙසායා 44:22). මා එම ස්ථානයට ගියේ දින කිහිපයක පටන් මාගේ සිත පිරවූ පව්කාර සිතුවිලි වලින් අවධානය ඉවත් කර ගැනීමටය. මම ඒවා කියා දුන්නද මම එම පාපය නැවත නැවත කරන විට දෙවියන්වහන්සේ එයට සමාව දේවිද කියා මට සැකයක් තිබුණි.

එදින උදෑසන පිළිතුර “ඔව්ය” කියා මම දැන ගත්තෙමි. රූප වන්දනාව නැමැති අඛණ්ඩ පාපයෙන් ඉශ්‍රායෙල්වරු අරගල කරන විට දෙවියන්වහන්සේ යෙසායා තුළින් ඔවුන්ට අනුග්‍රහය පෙන්වූ සේක. උන්වහන්සේ ඔවුන්ට බොරු දෙවිවරු පස්සේ යන එක නවත්වන්න කියා කීවද “මම නුඹ සෑදීමි. නුඹ මාගේ මෙහෙකරුවාය…… නුඹ මාගේ සිහියෙන් තොර නොවන්නෙහිය” (21 පදය) යයි කියමින් උන්වහන්සේ ඔවුන්ට හැරී එන්න යැයිද ඇරයුම් කළ සේක.

එවැනි සමාවක් මට හරියාකාරව තේරුම් ගැනීමට නොහැකිය. නමුත් අපගේ පාපය සම්පූර්ණයෙන් දියකර අපව ඉන් සුව කළ හැකි එකම දෙය දෙවියන්වහන්සේගේ අනුග්‍රහය පමණක්ම බව මම දන්නෙමි. උන්වහන්සේගේ අනුග්‍රහය නොනවතින නිසා සහ එය උන්වහන්සේ මෙන් දිව්‍යමය නිසාත් අපට අවශ්‍ය ඕනෑම වේලාවක එය තිබෙන නිසාත් මම ස්තුතිවන්ත වෙමි.