ටොම්ගේ කථා කිරීමේ හැකියාව පශ්චාත් ශල්‍යකර්ම ආබාධයක් නිසා නැති විය. ඔහුට බොහෝ කාලයක් රෝහලේ ඉන්නට සිදු විය. සති කිහිපයකට පසු ඔහු අපගේ සභාවේ ස්තුති දීමේ දේව මෙහෙයට ආ විට අපි පුදුම වූයෙමු. ඔහු කථා කිරීමට නැගිට සිටි විට අපි තවත් පුදුම වූයෙමු. කථා කළ යුතු දේවල් සොයමින් ඔහුගේ වචන පැටළුණි. සමහර දේවල් ඔහු නැවත නැවත කීවේය. දිනයන් සහ කාලයන් පටළවා ගත්තේය. නමුත් එක් දෙයක් පැහැදිළි විය. ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කළේය. ඔබගේ හදවත බිඳීම සහ ආශිර්වාද ලබා ගැනීම එකම මොහොතේ සිදු විය හැකිය. මේ එවැනි මොහොතකි.

ප්‍රාග් නත්තල් කථාවේද අපි කථාව නැතිවූ පුද්ගලයෙකු ගැන අසන්නෙමු. ගාබ්‍රියෙල් දේවදූතයා සෙකරියා පූජකයා ඉදිරියේ පෙනී සිට ඔහු ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘ කෙනෙකුගේ පියෙකු වීමට යන බව කියා සිටියේය (ලූක් 1:11-17 බලන්න). සෙකරියා සහ ඔහුගේ භාර්යයාව වයස්ගතව සිටි හෙයින් ඔහු ඒ ගැන සැක කළේය. මේ දේ සිද්ධ වන තුරු ඔහු කථා නොකරන බව දේවදූතයා කීවේ එවිටය.

ඒ දිනයේදී එය සිදුවුනි. හාස්කමේ දරුවාට නම් තබන දිනයේ සෙකරියා කථා කළේය. ඔහුගේ පළමු වචන වලින් ඔහු දෙවියන්වහන්සේව පැසසීය (64 පදය). ඊට පසු ඔහු කීවේ “ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟ බලා, ඔවුන්ට මිදීම සාදා දුන්සේක” (68 පදය) යනුවෙනි.

සෙකරියා මෙන් ටොම්ගේ ප්‍රතිචාරය වූයේ ඔහුට පුළුවන් වූ විගසම දෙවියන්වහන්සේ පැසසීමය. ඔවුන්ගේ හදවත් තම දිව් සහ මනස සෑදූ තැනන්වහන්සේට ස්තුති කිරීමට නැඹුරු වූහ. අපට මෙම කාලයේ කුමකට මුහුණ දෙන්න සිදුවූවත් අපටද එලෙස ප්‍රතිචාර දැක්විය හැකිය.