මා සම්මුඛ පරීක්‍ෂණය කළ අමුත්තා ඉතා විනීතව මාගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවේය. අපගේ දෙබසට යටින් යමක් ඇති බව මට වැටහුණි. මම උවමනාවක් නැතිව ඇසූ ප්‍රශ්නයකින් ඒ දෙය පිටතට පැමිණියේය. “ඔබ දහස් ගණනක් දිරිමත් කරනවානේද?” මම ඇසුවෙමි. “දහස් ගණනක් නොවේ මිලියන ගණනක්” ඔහු මිමුණුවේය.

මාගේ නොදැනුවත්කම ගැන අනුකම්පා කරන ආකාරයෛන් ඔහු තම සුදුසුකම්ද තානාන්තරද ඔහුගේ ජයග්‍රහණද ඔහු අතහිත දුන් සඟරා ගැනද කියාගෙන ගියේය. එය මට අපහසු අවස්ථාවක් විය.

ඒ අත්දැකීමෙන් පසු දෙවියන්වහන්සේ මෝසෙස්ට තමන්වහන්සේව හඳුන්වා දුන් ආකාරය ගැන මම පුදුම වීමි (නික්මයාම 34:5-7). මෙන්න, විශ්වයේ මැවුම්කාර මනුෂ්‍ය වර්ගයාගේ නිහතමානී විනිශ්චයකරුවාණන් වන දෙවියන්වහන්සේ තම තානාන්තර භාවිතා කළේ නැත. බිලියන සියගණනක් ග්‍රහලෝක සෑදු දෙවියන්වහන්සේ මෙන්න! උන්වහන්සේ ඒවා ගැන පුරසාරම් දෙඩුවේ නැත. උන්වහන්සේ තමන්ව හඳුන්වා දුන්නේ “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්” (6 පදය) ලෙසින්ය. උන්වහන්සේ තමන්ව හඳුන්වා දෙන විට තම තානාන්තර හෝ ජයග්‍රහණයන් පෙන්වන්නේ නැත. උන්වහන්සේ පෙන්වූයේ තම චරිත ගුණාංගයන්ය.

දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවන ලද්දාවු සෙනග ලෙස උන්වහන්සේගේ ආදර්ශය අනුගමණය කිරීමට අපට කැඳවීමක් තිබේ (උත්පත්ති 1:27, එපීස 5:1-2). මෙය ඉතා ගැඹුරුය. දක්‍ෂතා හොඳය. තානාන්තරයට තැනක් තිබේ. නමුත් අත්‍යාවශ්‍ය වන්නේ අප කෙතරම් සානුකම්පිතද, කරුණාවන්තද, ප්‍රේමණීයද යන්නය.

එම සම්මූඛ පරීක්‍ෂණයේ අමුත්තා මෙන් අපද අපගේ ජීවිත ජයග්‍රහණ මත පදනම් කරනවා විය හැකිය. මමද එසේමය. නමුත් දෙවියන්වහන්සේ සත්‍යවූ සාර්ථකත්වය ගැන ආදර්ශයක් දී තිබේ. ඒ අපගේ ව්‍යාපාරික කාඩ්පතේ හෝ ජීවදත්ත පෝරමයේ ලියා ඇති දේවල් නොවේ. අපි උන්වහන්සේ මෙන් වන්නේ කෙසේද යන්න මතය.