ළඟදී, මගේ කාර් රථය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය විය. ගරාජය තිබුණේ ළඟ පාත, මගේ නිවසේ සිට සැතපුමක් පමණයි. එමනිසා මට සිතුනා නිවසට පයින් යන්න. නමුත් මම ප්‍රසිද්ධ පාරක් ළඟින් හෙමින් හෙමින් යන මොහොතේදී, මට යම් දෙයක් වැටහුනා: එනම්, පාරේ ගමන් කරමින් සිටි අනෙක් හැමෝම ඉතා වේගයෙන් ගමන් කරන බව.

මෙය තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවෙයි. පාරේ පයින් යන අයට වඩා වැඩි වේගයෙන් කාර් රථ ගමන් කරනවා. නිවස බලා යන විටදී මට යම් දෙයක් වැටහුනා: වේගයෙන් ගමන් කරන්න අපි පුරුදු වෙලා තියනවා. සෑම වෙලේම. ඉන්පසුව මට තවත් දෙයක් වැටහුනා: දෙවියන්වහන්සේත් ඉතා වේගයෙන් ගමන් කරයි කියා මම නිතරම බලාපොරොත්තු වෙනවා. මගේ වේගවත් කාලසටහනට උන්වහන්සේගේ සැළසුම් ගැළපෙන්නට මට අවශ්‍යයි.

යේසුස්වහන්සේ මෙලොව සිටි කාලයේදී, උන්වහන්සේගේ ගමන පෙනෙන ආකාරයට සෙමින් බව හැඟුන නිසා සමහර අවස්ථාවන්වල උන්වහන්සේගේ යාළුවන්ව දුකට පත් කළා. යොහාන් 11 මරියා සහ මාර්තා, ඔවුන්ගේ සහොදරයා වන ලාසරුස් ට අසනීප බව කියමින් පණිවිඩයක් යවනවා. ඔවුන් දැනගෙන සිටියා යේසුස්වහන්සේට උපකාරයක් කරන්නට පුළුවන් බව (1-3 පද). නමුත් උන්වහන්සේ පැමිණියේ ලාසරුස් මිය ගොස් දවස් හතරකට පමණ පසුවයි (17 පදය). “ස්වාමිනි, ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා නොමැරෙයි” කියා මාර්තා යේසුස්වහන්සේට කීවාය (21 පදය). වෙන වචන වලින් කියනවා නම්: යේසුස්වහන්සේ ගමන් කළ වේගය මදියි. නමුත් උන්වහන්සේට විශාල සැළසුම් තිබුණා: ලාසරුස් ව මරණයෙන් නැඟිටුවන්න (38-44 පද).

මාර්තාගේ සුන්වූ බලාපොරොත්තුවත් සමඟ ඔබට සම්බන්ධ විය හැකිද? මට පුළුවන්. සමහර අවස්ථාවලදී, යේසුස්වහන්සේ වඩාත් ඉක්මණින් මගේ යාච්ඤා වලට පිළිතුරු ලබා දෙයි කියා මම දැඩි ආශාවෙන් බලා සිටිනවා. සමහර අවස්ථාවලදී, උන්වහන්සේ ප්‍රමාද යයි සිතෙනවා. නමුත් යේසුස්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කාලසටහන අපගේ කාලසටහනට වඩා වෙනස්. උන්වහන්සේගේ ගැළවීමේ ක්‍රියාවලිය ඉෂ්ඨ කරන්නේ උන්වහන්සේගේ කාලසටහන මත මිසක, අපගේ කාල සටහන මත නොවෙයි. අවසාන ප්‍රතිඵලය, අපගේ සැළසුම් වලට වඩා ඉහළින් උන්වහන්සේගේ තේජස සහ යහපත්කම වඩාත් එළිදැක්වෙන්නේය.