එංගලන්තයේ කේම්බ්‍රිජ්හි වසර 50ක දේව සේවයේ මුල් අවධියේදී චාල්ස් සිමියොන් ට (1759-1836) අසල්වැසි දේවගැතිවරයෙකු වන හෙන්රි වෙන් සහ ඔහුගේ දියණියන් හමුවිය. මෙම හමුවීමෙන් පසුව දියණියන් සඳහන් කළේ තරුණයා කෙතරම් රළු සහ ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කළේද යන්නයි. ඊට ප්‍රතිචාර වශයෙන් වෙන් තම දියණියන්ට ගස්වලින් පීච් ගෙඩියක් කඩන්නැයි ඉල්ලා සිටියේය. ඔවුන්ගේ පියාට අමු පළතුරු අවශ්‍ය වන්නේ මන්දැයි ඔවුන් කල්පනා කළ විට, ඔහු පිළිතුරු දුන්නේ, “හොඳයි, මගේ ආදරණීය දූවරුනි, එය දැන් කොළ පාටයි, අපි කාලයක් බලා සිටිය යුතුයි. නමුත් තව ටිකක් හිරුඑළිය සහ වැසි කීපයකට පසු, පීච් ගෙඩිය ඉදෙන අතර මිහිරි හා රසවත් ගෙඩියක් බවට පත් වෙනවා. මෙවැනි දෙයක් තමයි සිමියොන් මහතාගේ ජීවිතයේත් සිදුවෙන්නට යන්නේ.”

කාලයාගේ ඇවෑමෙන් සිමියොන් දෙවියන්වහන්සේගේ කරුණාව තුළින් මෘදු විය. එක් හේතුවක් නම් බයිබලය කියවා දිනපතා යාච්ඤා කිරීමට ඔහු දැක්වූ කැපවීමයි. ඔහු සමඟ මාස කිහිපයක් නැවතී සිටි මිතුරෙකු මෙම ක්‍රියාව දුටු අතර, “ඔහුගේ මහත් කරුණාවේ හා අධ්‍යාත්මික ශක්තියේ රහස මෙය යි” යනුවෙන් ප්‍රකාශ කළේය.

සිමියොන් දෙවියන්වහන්සේ සමඟ දෛනිකව සිටි කාලය තුළ දෙවියන්වහන්සේගේ වචන විශ්වාසවන්තව සිටි අතර යෙරෙමියා දිවැසිවරයාගේ පිළිවෙත අනුගමනය කළේය. යෙරෙමියා ඔවුන් මත කොතරම් රඳා සිටියාද යත්, “ඔබේ වචන පැමිණි විට මම ඒවා කෑවෙමි” යි කීවේය. දෙවියන්වහන්සේගේ වචනය ඉතා ඕනෑකමින් මෙනෙහි කරමින් එය තමන්ගේ ජීවිතයට එකතු කරගත්තේ ඒවා එතුමාගේ “ප්‍රීතිය” සහ “හදවතේ සතුට” වූ නිසායි (යෙරෙමියා 15:16).

අපත් ඇඹුල් කොළ පැහැති පළතුරකට සමාන නම්, ශුද්ධ ලියවිල්ල කියවීමෙන් හා කීකරු වීමෙන් දෙවියන්වහන්සේව දැන හඳුනාගන්නා විට උන්වහන්සේගේ ආත්මය තුළින් අපව මෘදු කිරීමට උපකාර කරනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය.