එදා අහසේ වළාකුළු ක්‍ෂිතිජය නොපෙනෙන තරම් පහළට වැටී තිබුණා. යාර සියයකට පමණක් මගේ පෙනීම සීමා වුනා. කාලය ගෙවී ගියා. මෙය හේතුවෙන් මා තුළ අයහපත් හැඟීම් ඇතිවී තිබුණා. නමුත්, දවල් කාලය පැමිණුනු විටදී, මෙම වළාකුල් ඉවත් වෙන්න පටන්ගත්තා. දැන් මට ඉතා අලංකාර උල් කඳු මුදුන් පෙනී ගියා. මේ කඳු මුදුන් මගේ නගරයේ කැපී පෙනෙන්නට තිබූ විශේෂත්‍වයක්, සහ මෙහි දෙපස කඳු පේලි වලින් වටවී තිබුණා. මගේ මුහුණේ සිනාවක් දිස් වුණා. මා විශ්වාස කරනවා, මගේ මනසේ, මා දකින දේවල්, මා විසින් කොයි විධියට තේරුම් ගන්නවාද, එය මගේ ආත්මික ජීවිතයට බලපෑමක් ඇතිකරනවා. මේ අවස්ථාවේදී මට මතක් වුනා ගීතාවලිය ලියූ කවියාගේ ගායනාව, “කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි” (ගීතාවලිය 121:1). සමහර අවස්ථාවලදී අපේ දෑස් තරමක් ඉහළට ඔසවන්නට සිදුවනවා!

ගීතාවලියේ කවියා විසින් තමන්ට උපකාර ලැබෙන්නේ කොතැනින්ද කියා කල්පනා කරන්නට විය. හේතුව ඉශ්‍රායෙල් රටේ කඳු මුදුන් වල අන්‍ය දෙවිවරුන්ට පූජාසන සාදා තිබුණ නිසාත්, එහි නිතරම සොරුන් සැරිසැරූ නිසාත්ය. එසේත් නැත්නම් කඳු මුදුන් වලට ඉහළින් තමාගේ ඇස් ඔසවා දේව මාලිගාව තිබූ සියොන් කඳු දෙස බලාගෙන ස්වර්ගයත් පොළොවත් මැවූ, මැවුම්කරුවාණන්වහන්සේ තමන්ගේ ගිවිසුම් දෙවියන්වහන්සේ බව සිහිවෙන්න ඇති (2 පදය). කෙසේ වූවත්, නමස්කාර කිරීම පිණිස අපි ස්වර්ගය දෙසට අපේ හිස එසවිය යුතුයි. අප සිටින තත්ත්‍වයට, අපේ ප්‍රශ්න, කම්කටොලු හා අද දවසේ සිටින බොරු දෙවිවරුන්ගේ හිස් පොරොන්දුවලට වඩා ඉහළින් අපේ දෑස් එසවිය යුතුයි. අපව නමින් කථාකරන අපගේ මැවුම්කරුවාණන් හා මිදුම්කරුවාණන් වන යේසුස්වහන්සේව අපට දැකිය හැක්කේ එවිටයි. උන්වහන්සේ දැන් පටන් සදාකල්ම අපගේ “යාම ඊම ආරක්‍ෂා කරන” තැණැන්වහන්සේ ය (8 පදය).