ආසියාවේ ජ්‍යේෂ්ඨ බැංකුකරුවන්ගෙන් ඔවුන්ගේ ප්‍රියතම සම්මුඛ පරීක්‍ෂණ ප්‍රශ්න මොනවාදැයි විමසූ විට, ඔවුන්ගෙන් එක් අයෙක් මෙම පිළිතුර ලබා දුන්නේය :“ඔබ සාර්ථකත්‍වය පහදා දෙන්නේත් අත්කර ගන්නේත් කෙසේද?“ සිංගප්පූරුවේ සිටිබෑන්ක් හි ප්‍රධාන විධායක නිලධාරි පැහැදිලි කළේ “සාර්ථකත්‍වයට පොළඹවන දේ කුමක්දැයි දැනගැනීමට මම කැමතියි. මෙමගින් මා සම්මුඛ සාකච්ඡා කරන පුද්ගලයාගේ හරය සහ ඔහුගේ වටිනාකම් දැනගැනීමට මට හැකි වෙයි.”

දෙවියන්වහන්සේ ගැන කුමක් කිව හැකිද? උන්වහන්සේ බලන්නේ කුමක්ද? 1 සාමුවෙල් 16:1-13හි “සම්මුඛ සාකච්ඡා” සැසියක් අපි කියවමු. සාමුවෙල් අනාගතවක්තෘවරයාට දෙවියන්වහන්සේ විසින් ඉශ්‍රායෙලයේ රජු හඳුනාගෙන පත්කිරීම පැවරී තිබූ අතර දෙවියන්වහන්සේ සාමුවෙල්ට මෙම කොන්දේසිය ලබා දුන්නේය: “මිනිසුන් බාහිර පෙනුම දෙස බලයි, නමුත් ස්වාමීන්වහන්සේ හදවත දෙස බලයි” (1 සාමුවෙල් 16:7).

අපේක්‍ෂකයින් හත්දෙනෙකු සම්මුඛ පරීක්‍ෂණයකට ලක් කර ප්‍රතික්‍ෂේප කරන ලදී (8-10පද). අටවන අපේක්‍ෂකයා වන යෙස්සේගේ බාල පුත්‍රයා සහ සුදුසුකම් අනුව අවම ස්ථානයක සිටි දාවිත් තෝරාගන්නා ලදී. දෙවියන්වහන්සේ සොයන එක් වැදගත් නිර්ණායකයක් ඔහු ඉටු කළේය: “යෙස්සේගේ පුත් දාවිත්, මාගේ සිතට එකඟ මිනිසෙකු මට හමු විය; ඔහු මට කිරීමට අවශ්‍ය සියල්ල කරනු ඇත” (ක්‍රියා 13:22).

පුද්ගලයෙකුගේ කුසලතා සහ සුදුසුකම් සළකා බැලීම වැදගත් වන අතරම, චරිතයේ බැරෑරුම් කාරණා නොසළකා හරිමු – අවංකකම, නිරවද්‍යතාවය, අවංකභාවය සහ නිහතමානිකම. මෙයින් අපට වැදගත් ඇඟවීමක් ඇත: අප දෙවියන්වහන්සේගේ යහපත් හා විශ්වාසවන්ත සේවකයෙකු වීමට උත්සාහ කරන විට, අපගේ කුසලතා හා දැනුම වර්ධනය කරගැනීමටත් වඩා වැදගත් වන්නේ දෙවියන්වහන්සේගේ හදවතට ළංවූ පුද්ගලයෙකු වීමට උත්සාහ කිරීමයි.