සේබී නමැති ළදරුවා සති 23 දී “මයික්‍රෝ ප්‍රීමී” දරුවෙක් ලෙස අවුන්ස 8.6ක බරක් සමඟ උපත ලැබූවාය. (“මයික්‍රෝ ප්‍රීමී” – ග්‍රෑම් 1000ට අඩු බර හෝ සති 28 ගර්භනීභාවයට පෙර උපත ලැබූ ළදරුවන් හඳුන්වන නාමයකි). මෙම දරුවාගේ දෙමව්පියන්ට තමන්ගේ ළදරුවා සමඟ ගතකිරීමට හැකිවනුයේ පැයක කාලයක් පමණක් බව වෛද්‍යවරුන් කියා සිටියේය. ළදරුවාගේ තොටිල්ල අසල “කුඩා නමුත් බලවත්” යැයි ප්‍රකාශයක් කාඩ්පතක සටහන් කර තිබුණේය. ආරෝග්‍ය ශාලාවේ මාස පහක් සිටීමෙන් පසුව, රාත්තල් පහක බරක් ඇති නීරෝගී ළදරුවෙකු ලෙස සේබී ආශ්චර්යමත් ලෙස ගෙදර ගියාය. ලෝකයේම ජීවතුන් අතර සිටින කුඩාම ළදරුවා ලෙස ලෝක වාර්තාවක් ඈ විසින් තැබුවාය.

කිසිම බලාපොරොත්තුවක් නැති අවස්ථාවන් පරාජය කළ අයගේ කථා ඇසීම බලවත් ය. බයිබලයේද මෙවැනි කථාවක් තිබෙනවා. බැටළුවන් බලාගන්නා එඬේරෙක් වූ දාවිත්, ගොලියත් සමඟ සටන් කිරීමට කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ගොලියත්, දෙවියන්වහන්සේට අපහාස කර ඉශ්‍රායෙලයට තර්ජනය කළ දැවැන්ත රණශූරයෙකි. සාවුල් රජ සිතුවේ දාවිත් අනුවණ (මෝඩ) ක්‍රියාවක් කරන්නට යන බවයි. “ඔබට මේ පිලිස්තිවරයාට විරුද්ධව ගොස් ඔහුට විරුද්ධව සටන් කිරීමට හැකියාවක් නැත. ඔබ තරුණයෙක් පමණි. ඔහු තරුණ වියේ සිටම රණශූරයෙකි” (1 සාමුවෙල් 17 33). දාවිත් නම් දරුවා යුධ පිටියට පිවිසෙන විට ගොලියත් “දාවිත් දෙස බැලූ විට ඔහු පිරිමි ළමයෙකුට වඩා මඳක් වැඩි බව දුටුවේය” (42 පදය). කෙසේවෙතත්, දාවිත් තනිවම සටනට අවතීර්ණ වූයේ නැත. ඔහු පැමිණියේ “ඉශ්‍රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන්” (45 පදය). සටන අවසානයේ, ජයග්‍රාහී දාවිත් මිය ගිය ගොලියත්ට ඉහළින් සිටගෙන සිටියේය.

ප්‍රශ්නය කෙතරම් විශාල වූවත්, දෙවියන්වහන්සේ අප සමඟ සිටින විටදී අපට කිසිම දෙයකට භය වීමට අවශ්‍ය නැත. උන්වහන්සේගේ ශක්තියෙන් අපිත් බලසම්පන්න වනවා ඇත.