වෛද්‍යවරුන් විසින් ඩිඈන් ඩොක්කෝ කිම් සහ ඇගේ සැමියාගේ කුළුඳුල් පුතා ඕටිසම් රෝගයෙන් (පුද්ගලයෙකුට සන්නිවේදන අපහසුතා ඇති මානසික තත්ත්‍වයක්) පෙළෙන බව දැනගත් පසු, ඩිඈන් ඩොක්කෝ කිම් සහ ඇගේ සැමියා සංජානනීය ආබාධිතයෙකු (සිතුවිලි හා දැනුම ලබාගැනීමේ ආබාධිතභාවය) ජීවිත කාලය පුරාවටම රැකබලා ගැනීමට සිදුවීම ගැන දුක්වුනා. තම ආදරණීය පුතාගේ අනාගතය සඳහා ඔවුන්ගේ සිහින හා අපේක්‍ෂාවන් වෙනස් කර ගැනීම අරගලයක් වූ බව ඇය
“නොබිඳු විශ්වාසය” නම් පොතේ ලියුවාය. නමුත් මෙම වේදනාකාරී ක්‍රියාවලිය තුළින් ඔවුන් ඉගෙනගත්තේ ඔවුන්ගේ කෝපය, සැකයන් හා බිය පාලනය කිරීමට දෙවියන්වහන්සේට හැකි බවයි. දැන්, ඔවුන්ගේ පුතා වැඩිවියට පා තබන විට, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමව්පියන් දිරිමත් කිරීම සඳහා ඩිඈන් සිය අත්දැකීම් භාවිතා කරන්නීය. දෙවියන්වහන්සේගේ නොබිඳිය හැකි පොරොන්දු, අසීමිත බලය සහ ප්‍රේමණීය විශ්වාසවන්තකම ගැන ඇය අන් අයට පවසන්නීය. සිහිනයක්, අපේක්‍ෂාවක්, ජීවිතයේ මාර්ගයක් හෝ කාල පරිච්ඡේදයක් මිය ගිය විට, ශෝක වීමට ස්වාමින්වහන්සේ අපට අවසර දෙන බව ඇය මිනිසුන්ට සහතික කරයි.

යෙසායා 26හි දිවැසිවරයා විසින් දෙවියන්වහන්සේගේ සෙනඟට ප්‍රකාශ කරන්නේ, ස්වාමින්වහන්සේ කෙරෙහි සදහටම විශ්වාස කළ හැකි බවය, මන්ද “ස්වාමින්වහන්සේ …… සදාකාලික පර්වතයයි” (4 පදය). සෑම තත්ත්‍වයකදීම ආශ්චර්යමත් සාමයෙන් අපව පවත්වාගෙන යාමට දෙවියන්වහන්සේට හැකියාව ඇත (12 පදය). දෙවියන්වහන්සේගේ වෙනස් නොවන ස්වභාවය කෙරෙහි අවධානය යොමු කිරීම සහ කරදරකාරී කාලවලදී ස්වාමින්වහන්සේට මොරගැසීමෙන් අපගේ බලාපොරොත්තු වලට නැවතත් ජීවනයක් ලබා දෙයි (15 පදය).

යම් අලාභයකට, බලාපොරොත්තු සුන්වීමකට හෝ දුෂ්කර තත්ත්‍වයකට අප මුහුණ දෙන විට, ස්වාමින්වහන්සේ සමඟ අවංකව කටයුතු කිරීමට උන්වහන්සේ අපට ආරාධනා කරන සේක. අපගේ වෙනස්වන හැඟීම් සහ අපගේ ප්‍රශ්න හැසිරවීමට ස්වාමින්වහන්සේට හැකිවන්නේය. සමිඳාණන්වහන්සේ අප සමඟ සිටිමින් සදාකාලික බලාපොරොත්තුවකින් අපගේ ආත්මයන් ප්‍රබෝධමත් කරන සේක. අපගේ ජීවිතය කඩා වැටෙමින් පවතින බවක් අපට දැණෙන් විට පවා, අපගේ ඇදහිල්ල නොබිඳිය හැකි ලෙස දෙවියන්වහන්සේට ක්‍රියා කළ හැක.