“දෙවියන්වහන්සේ ජීවත්වන්නේ කොහේදැයි මම දන්නවා” අපේ සිව් හැවිරිදි මුණුබුරා මගේ බිරිඳ වන කේරි ට පැවසුවා. “ඒ කොහේද?” ඇය ඇසුවේ ඇගේ කුතුහලය ඇවිස්සෙමින්. “උන්වහන්සේ ජීවත්වන්නේ ඔබේ නිවස අසල වනාන්තරයේ” යි ඔහු පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ සංවාදය ගැන කේරි මට පැවසූ විට, ඔහුගේ සිතුවිල්ලට හේතු වූයේ කුමක්දැයි ඇය කල්පනා කළාය. “මම දන්නවා” මම ප්‍රතිචාර දැක්වූවෙමි. “ඔහු අපගේ නිවසට පැමිණි අන්තිම අවස්ථාවේදී, අපි වනාන්තරයේ ඇවිද ගිය විට, අපට දෙවියන්වහන්සේව දැකිය නොහැකි වූවත්, උන්වහන්සේ කළ දේවල් අපට දැක ගත හැකි බව මම ඔහුට කිව්වා.” අපි ගඟක් අසල වැලි සහිත ස්ථානයක් හරහා යද්දී “මම සාදන අඩි පාරවල් ඔබට පෙනෙනවාද?” මම මගේ මුණුබුරාගෙන් ඇහුවා. “සතුන්, ගස් හා ගංගාව දෙවියන්වහන්සේගේ පාද සටහන් වලට සමාන යි. උන්වහන්සේ මවා තිබෙන දේවල් අපට දැකිය හැකි නිසා උන්වහන්සේ මෙහි සිට ඇති බව අපි දන්නවා.”

104වන ගීතාවලියේ ලේඛකයා මැවිල්ලේ දෙවියන්වහන්සේට ඇති සාක්‍ෂි පෙන්වා දෙමින්, “ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.” (24 පදය). ප්‍රඥාව යන වචනය සඳහා වූ හෙබ්‍රෙව් වචනය බොහෝ විට දක්‍ෂ ශිල්පීය හැකියාවන් විස්තර කිරීමට බයිබලයේ යොදාගෙන ඇත. සොබාදහමේ දෙවියන්වහන්සේගේ මැවිල්ල උන්වහන්සේ එහි සිටින බව ප්‍රකාශ වන නිසා, උන්වහන්සේට ප්‍රශංසා කිරීමට අපව පොළඹවයි.

104 වන ගීතාවලිය ආරම්භ වන්නේත් අවසන් වන්නේත් “ස්වමින්වහන්සේට ප්‍රශංසා කරන්න” (1 සහ 35 පද) යන වචන වලිනි. ළදරුවෙකුගේ අතේ සිට රාජාලියෙකුගේ ඇස දක්වා, අප අවට සිටින අපගේ මැවුම්කරුවාණන්ගේ කලාත්මක බව උන්වහන්සේගේ සම්පූර්ණ කුසලතාව ගැන කථාකරයි. අද අපි ඒ සියල්ල පුදුමයෙන් යුතුව බලමින් ඒ වෙනුවෙන් උන්වහන්සේට ප්‍රශංසා කරමු!