වසර ගණනාවක් පුරා, බටහිර අප්‍රිකාවේ වෙසෙන බ්‍රිතාන්‍ය යුවළක් තම නගරයේ මිනිසෙකු සමඟ ශක්තිමත් මිත්‍රත්‍වයක් ගොඩනඟාගත් අතර, බොහෝ විට ඔහු සමඟ යේසුස්වහන්සේගේ ප්‍රේමය සහ ගැළවීමේ කථාව බෙදාගත්තේය. කෙසේවෙතත්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල “වඩා විශාල සත්‍යය” බව ඔහු වටහාගෙන සිටියද, ඔවුන්ගේ මිතුරා ජීවිතකාලයම පක්‍ෂපාතිවූ වෙනත් ආගමක් අත්හරින්නට පසුබට වුණේය. ඔහු එම ආගමික සමාජයේ නායකයෙකු වූ නිසාත්, ඔහුට මෙයින් ලැබුණු වැටුප මත යැපෙන නිසාත්, ඔහුට එම ආගම අතහැරීමේ අපහසුතාවයට එක් හේතුවක් විය. තම ප්‍රජාවේ ජනතාව අතර ඔහුගේ කීර්තිය අහිමි වනු ඇතැයි ද ඔහු බිය විය.

ශෝකයෙන් ඔහු පැහැදිලි කළේ, “මම දෑතින් දියේ සිටින මසුන් අල්ලන කෙනෙකු හා සමානයි. මම එක් අතකින් කුඩා මාළුවෙකු අල්ලාගෙන සිටින නමුත් විශාල මාළුවෙකු මා ලඟ පිහිනමින් සිටියි. විශාල මාළුවා ඇල්ලීමට නම් මගේ දෑතේ සිටින කුඩා මාළුවාව අතහැරිය යුතුයි!”

මතෙව් 19වන පරිච්ඡේදයේ එවැනිම ගැටලුවක් ඇති පොහොසත් තරුණ පාලකයෙකු ගැන මතෙව්තුමා විසින් ලියා ඇත්තේය. ඔහු යේසුස්වහන්සේ වෙත ලඟාවූ විට, “සදාකාල ජීවනය ලබාගැනීමට මා කළ යුත්තේ කුමක්ද?” කියා ඇසුවේය (16 පදය). ඔහු තුළ අවංක බවක් පෙනෙන්නට තිබුණත්, ඔහුගේ ජීවිතය යේසුස්වහන්සේට සම්පූර්ණයෙන්ම භාරදීමට කැමති වූයේ නැත. ඔහු මුදල් වලින් පමණක් නොව, නීති රීති අනුගමනය කරන්නෙකු වීමේ ආඩම්බරයෙන් ද පොහොසත් විය. සදාකාල ජීවනයට ආශා වුවද, ඔහු තවත් දෙයකට ආදරය කළ අතර ක්‍රිස්තුස්වහන්සේගේ වචන ප්‍රතික්‍ෂේප කළේය.

අප යටහත්පහත්ව අපගේ ජීවිතය යේසුස්වහන්සේට භාරදී උන්වහන්සේ නොමිලේ දෙන ගැළවීමේ ත්‍යාගය පිළිගන්නා විට, “එන්න, මා අනුව එන්න” කියා උන්වහන්සේ අපට ආරාධනා කරන සේක (21 පදය).