නූතන මැරතන් තරඟය පදනම් වී ඇත්තේ ග්‍රීක පණිවිඩකරුවෙකු වන ෆීඩිප්පිඩෙස්ගේ කතාව මත ය. පුරාවෘත්තයට අනුව, ක්‍රි.පූ. 490 දී ඔහු මැරතන් නුවර සිට ඇතැන්ස් නුවර දක්වා සැතපුම් විසිපහක දුරක් (කිලෝමීටර හතළිහක්) දිව ගියේ ඔවුන්ගේ බලවත් සතුරා වන ආක්‍රමණික පර්සියානුවන්ට එරෙහිව ග්‍රීකයන්ගේ ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට ය. මළල ක්‍රීඩා ජයග්‍රහණයක පෞද්ගලික තෘප්තිය උදෙසා අද මිනිසුන් මැරතන් ධාවන තරඟ පවත්වන නමුත් ෆීඩිප්පිඩෙස්ගේ උත්සාහය පිටුපස වඩා විශාල අරමුණක් තිබුණේය. ඔහුගේ සෑම පියවරක්ම ක්‍රියාත්මක වූයේ ඔහුගේ රටේ පුරවැසියන්ට සතුටුදායක ආරංචියක් ලබා දීමේ ප්‍රීතිය උදෙසා ය!

අවුරුදු පන්සියයකට පමණ පසු කාන්තාවන් දෙදෙනෙකු ද ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දිව ගියහ. එය ඉතිහාසයේ වැදගත්ම ප්‍රවෘත්තියයි. මරියා සහ මග්දලේනා මරියා යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගැසීමෙන් පසු තැන්පත් කර තිබූ සොහොන් ගෙය වෙත පැමිණි විට එය හිස් බව ඔවුනට පෙනී ගියේය. දේවදූතයෙක් ඔවුන්ට පැවසුවේ යේසුස්වහන්සේ “මළවුන්ගෙන් උත්ථානවූ” බවත් “ඉක්මණින් ගොස් ස්වාමින්ගේ ගෝලයන්ට කියන්න” (මතෙව් 28:7) කියාය. “භයින්ද මහත් ප්‍රිතියෙන් ද” ස්ත්‍රීන්, ගෝලයන්ට තමන් සොයාගත් දේ පැවසීමට දිව ගියෝය (8 පදය).

යේසුස්වහන්සේගේ උත්ථානය පිළිබඳව අපද එලෙසම ප්‍රීති ප්‍රමෝදයට පත්වෙමින් එම ශුභාරංචිය අන් අය සමඟ බෙදාගැනීමට පෙළඹෙන සේක්වා. අපගේ ගැළවුම්කරුවාණන් ගැන දැනගත යුතු අයෙකු සොයාගැනීමට අපට අල්ලපු ගෙදරට වඩා “දුවන්නට” අවශ්‍ය නොවනු ඇත. සමිඳාණන්වහන්සේ මරණයට එරෙහි සටන ජයගත්තේ අපට උන්වහන්සේ සමඟ සදහටම ජයග්‍රාහී ජීවිත ගතකිරීමට හැකි වන පිණිසය!