දහනව වන ශතවර්ෂයේ ප්‍රංශයේ සමාජ හා දේශපාලන නැගිටීම් අතරතුර කවියෙකු හා නවකථාකරුවෙකු වූ වික්ටර් හියුගෝ (1802-1885) ඔහුගේ සම්භාව්‍ය ලා මිසරාබ්ලේ සඳහා වඩාත් ප්‍රසිද්ධ විය. ශතවර්ෂයකට පසු ඔහුගේ නවකථාවේ සංගීත අනුවර්තනයක් අපේ පරම්පරාවේ ජනප්‍රියම නිෂ්පාදනයක් බවට පත්ව ඇත. මෙය අපව පුදුමයට පත් නොකළ යුතුය. හියුගෝ වරක් පැවසූ පරිදි, “සංගීතය ප්‍රකාශ කරන්නේ කිව නොහැකි හා නිහඬව සිටිය නොහැකි දේ ය.”

ගීතිකාකරුවන් ඊට එකඟ වනු ඇත. ඔවුන්ගේ ගීත සහ යාච්ඤා මඟින් ජීවිතය පිළිබඳ අවංක පිළිබිඹුවක් සහ එහි නොවැළැක්විය හැකි වේදනාව අපට සපයා දෙනු ලැබේ. අපට ළඟා වීමට අපහසු ස්ථානවල ඒවා අපව ස්පර්ශ කරයි. නිදසුනක් වශයෙන්, ගීතාවලිය 6:6 හි දාවිත් මොරගසයි, “ මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි.”

එවැනි ගැඹුරු අවංකකමක් ශුද්ධ ලියවිල්ලේ දේවානුභාවයෙන් යුත් ගීතවලට ඇතුළත් කර තිබීම අප ට මහත් දිරිගැන්වීමක් ලබා දෙයි. සැනසිල්ල හා උපකාරය සඳහා උන්වහන්සේ ඉදිරියෙහි අපව සාදරයෙන් පිළිගන්නා දෙවියන්වහන්සේ වෙත අපගේ බිය ගෙන ඒමට ඒවා අපට ආරාධනා කරයි. උන්වහන්සේ අපගේ හෘදයාංගම අවංකකමේදී අප වැළඳ ගන්නා සේක.

ප්‍රකාශ කිරීමට වචන නොමැති වූ විට, අපගේ හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව සංගීතයට ලබා දිය හැකි නමුත්, එම ප්‍රකාශය ගායනා කලත්, යාච්ඤා කලත්, නිහඬව වැලපුනත් අපගේ දෙවියන්වහන්සේ අපගේ හදවතේ ගැඹුරුම ස්ථාන කරා ළඟා වී උන්වහන්සේගේ සාමය අපට ලබා දෙන සේක.