බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු වූ ජෝන් මැකාතිට – ලෙබනනයේ දරුණු සිවිල් යුද්ධයේ පස් අවුරුදු ප්‍රාණ ඇපකරුවෙකු වූ ඔහු නිදහස් කිරීමට සාකච්ඡා කළ පුද්ගලයාව හමුවන්නට වසර 20ක් ගත විය. අවසානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති ජියාන්ඩොමිනිකෝ පික්කෝව මුණගැසුණු විට මැකාති සරළව පැවසුවේ “මගේ නිදහසට ස්තුතියි!” මැකාතිට නිදහස ලබාගැනීම සඳහා භයානක සාකච්ඡා අතරතුරදී පික්කෝ තම ජීවිතය පරදුවට තබා ඇති නිසා ඔහුගේ හෘදයාංගම වචන විශාල බරක් දැරුවේය.

ඇදහිලිවන්තයන් වන අපට එවැනි අමාරුවෙන් දිනාගත් නිදහසට සම්බන්ධ විය හැකිය. යේසුස්වහන්සේ තම ජීවිතය අත්හැරියා – රෝම කුරුසියක් මත මරණය වින්දා – අප ඇතුළු සෑම කෙනෙකුටම අධ්‍යාත්මික නිදහස ලබාගැනීම සඳහා. සමිඳාණන්වහන්සේගේ දරුවන් වශයෙන් අපි දන්නවා “ක්‍රිස්තුස්වහන්සේ අපව නිදහස් කර ඇත්තේ නිදහස උදෙසා,”. අපොස්තුළු පාවුල් එය නිර්භීතව ප්‍රකාශ කළේය (ගලාති 5:1).

යොහන්ගේ ශුභාරංචියේ ක්‍රිස්තුස්වහන්සේ තුළ නිදහස ගැන උගන්වයි, “පුත්‍රයාණෝ ඔබව නිදහස් කළොත්, ඔබ සැබවින්ම නිදහස් වනු ඇත” (යොහන් 8:36).

නමුත් නිදහස කුමන ආකාරවලින්ද? යේසුස්වහන්සේ තුළ, පාපයෙන් සහ එය අප පාලනය කිරීම පමණක් නොව, වරද, ලැජ්ජාව, කනස්සල්ල, සාතන්ගේ බොරු, මිථ්‍යා විශ්වාස, බොරු ඉගැන්වීම් සහ සදාකාලික මරණයෙන්ද අපට නිදහස ලැබේ. තවදුරටත් ප්‍රාණ ඇපකරුවන් නොව, සතුරන්ට ප්‍රේමය පෙන්වීමට, කරුණාවෙන් ගමන් කිරීමට, බලාපොරොත්තුවෙන් ජීවත් වීමට සහ අසල්වැසියන්ට ප්‍රේම කිරීමට අපට නිදහස තිබේ. අප ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීම අනුගමනය කරන විට, අප සමාව ලබා ඇති පරිදි අපට සමාව දිය හැකිය.

මේ සියල්ල සඳහා, අපි අද දෙවියන්වහන්සේට ස්තුති කරමු. පසුව අපි ස්වාමින්ගේ නිදහසේ බලය අන් අයද දැන ගනු පිණිස ප්‍රේම කරමු.