මා අසල නිවාස වැඩිදියුණු කිරීමේ වෙළඳසැලක් ඇත. එහි එක් අංශයක් තුළ විශාල කොළ පාට බොත්තමක් ඇත. සහායකයෙක් නොමැති නම්, ඔබ බොත්තම එබිය යුතුයි. එය ටයිමරයක් ආරම්භ කරයි. ඔබට විනාඩියක් ඇතුළත සේවය නොලැබුණේ නම්, ඔබේ මිලදී ගැනීම සඳහා වට්ටමක් ලැබේ.

මෙම තත්ත්‍වය තුළ, වේගවත් සේවාවක් භුක්ති විඳින පාරිභෝගිකයා වීමට අපි කැමතියි. නමුත් වේගවත් සේවාවක් සඳහා ඇති ඉල්ලුම බොහෝ විට විශාල වශයෙන් බලපෑමක් ඇතිකරන්නේ එය ලබා දීමේ වගකීම අපගේ වැඩකොටස වූ අවස්ථාවන්හිදී ය. අද අපගෙන් බොහෝ දෙනෙකුට අපගේ කාර්යයන් කිරීමේදී කාර්යබහුල බවක් දැනේ, දිගු වේලාවක් වැඩ කිරීම, දිනකට කිහිප වතාවක් විද්‍යුත් තැපෑල පරික්‍ෂා කිරීම සහ දැඩි කාලසීමාවන් තූළ වැඩකිරීම තුළින් පීඩනයක් දැනේ. නිවාස වැඩිදියුණු කිරීමේ වෙළඳසැලේ පාරිභෝගික සේවා උපක්‍රම අප සියලු දෙනාගේ ජීවිත තුළට කාවැදී අප තූළ කඩිමුඩිකමේ සංස්කෘතියක් බිහිවී ඇත.

දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට සබත් දවසක් පවත්වන්න කියා පැවසූ විට උන්වහන්සේ වැදගත් හේතුවක් එකතු කළා: “ඔබත් මිසර දේශයෙහි වහලුන් ව සිටි බවත් සිහිකරපන්න” (ද්විතීය කථාව 5:15). පාරාවෝගේ අධික කාලසීමාවන් යටතේ ඔවුන්ට නිරන්තරයෙන් වැඩකිරීමට බල කිරීමක් තිබුණි (නික්මයාම 5:6-9). දැන් නිදහස් වූ ඔවුන්, ඔවුන්ට සහ ඔවුන්ට සේවය කළ අයට විවේක ගත හැකි බව සහතික කිරීම සඳහා සෑම සතියකම මුළු දවසම ලබා දිය යුතු විය (ද්විතීය කථාව 5:14). දෙවියන්වහන්සේගේ පාලනය යටතේ, අධික වෙහෙසට පත්වූ මිනිසුන් නොසිටිය යුතුව තිබුණි.

ඔබ කොපමණ වර වෙහෙසට පත්වන තෙක් වැඩ කරනවාද නැතහොත් ඔබට බලා සිටින්නට සිදුකරන පුද්ගලයින් සමඟ නොඉවසිලිමත් වන්නේද? අපිට සහ එකිනෙකාට විවේකයක් ලබා දෙමු. කඩිමුඩිකමේ සංස්කෘතියක් යනු පාරාවෝගේ ක්‍රියාවක් මිස දෙවියන්වහන්සේගේ දෙයක් නොවේ.