බැංකොක්හී ජනප්‍රීය අවන්හලක් අවුරුදු හතළිස් පහක් තිස්සේ පැසෙන සුප් හොද්දකින් සුප් පිරිනමන අතර සෑම දිනකම අඩුව පුරවනු ලැබේ. “සදාකාලික ඉස්ටුවක්” ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාව මධ්‍ය කාලීන යුගය දක්වා දිව යයි. සමහර ඉතිරිවන කෑම දින කිහිපයකට පසු වඩාත් හොඳින් රස විඳිනවා සේම, දීර්ඝ ආහාර පිසීමේ කාලයක් මිශ්‍රවී මෙහි අද්වීථීය රසයන් නිර්මාණය කරයි. මෙම අවන්හල තායිලන්තයේ වඩාත්ම රසවත් සුප් හොද්ද සඳහා සම්මාන කිහිපයක් දිනාගෙන ඇත.

හොඳ දේ සඳහා බොහෝ විට කාලය ගතවේ. නමුත් අපගේ මිනිස් ස්වභාවය ඉවසීම සමග අරගල කරයි. “කොපමණ කාලයක්ද?” යන ප්‍රශ්නය බයිබලය පුරාම අසන දෙයකි. එක් පැහැදිලි උදාහරණයක් නම් හබක්කුක් දිවැසිවරයා සිය පොත ආරම්භ කරන්නේ “ස්වාමීන්වහන්ස, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොඅසනසේක;” (හබක්කුක් 1:2) යනුවෙනි. බබිලෝනිය අධිරාජ්‍යයාගේ කෲර ආක්‍රමණය මගින් දෙවියන්වහන්සේගේ විනිශ්චය තම රට වන යුදයට පැමිණෙන බව හබක්කුක් (එම නමෙහි තේරුම “විශාල කොක්ක”- “ග්‍රැප්ලර්” යන්නයි) අනාවැකියෙන් ප්‍රකාශ කළේය. අනෙක් අයගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගෙන සඵල වන්නට දුෂිත ජනතාවට ඉඩ දෙන්නේ කෙසේද කියා ඔහු දෙවියන්වහන්සේ සමග පොර බැදුවේය. නමුත් දෙවියන්වහන්සේගේ කාලය තුළ බලාපොරොත්තුව සහ නැවත ගොඩනැගීම දෙවියන්වහන්සේ පොරොන්දු වූ සේක. “මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ…..  එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.” (2:3).

බබිලෝනිය වහල්භාවය අවුරුදු හැත්තෑවක් පැවතුණි. මිනිස් ගණනය කිරීම් වලින් එය දීර්ඝ කාලයක් නමුත් දෙවියන්වහන්සේ සෑම විටම විශ්වාසවන්තයි. උන්වහන්සේගේ වචනය සැබෑය.

දෙවියන්වහන්සේගේ සමහර හොඳම ආශිර්වාද පැමිණීමට බොහෝ කලක් ගතවිය හැකිය. ඒවා කල්ගත වූවත් දිගටම ස්වාමින්වහන්සේ දෙස බලා සිටින්න. උන්වහන්සේ සෑම ආශිර්වාදයක්ම පරිපූර්ණ ප්‍රඥාවෙන් සහ සැලකිල්ලෙන් සුදානම් කරන සේක. උන්වහන්සේ ගැන සෑම විටම බලා සිටීම අගනේය.