කම්කරුවන් පිරිසක් මිදුණු විලකින් අයිස් කපා අයිස් ගබඩාවක ගබඩා කරමින් සිටියදී ජනේල රහිත ගොඩනැගිල්ලක තම ඔරලෝසුව නැති වී ඇති බව ඔවුන්ගෙන් එක් අයෙකුට වැටහුණි. ඔහු සහ ඔහුගේ මිතුරන් එය සොයන්නට වෙහෙස වූවත් එය නිෂ්ඵල විය.

ඔවුන් සෙවීම අත්හැර දමා පිටවී යනු දුටු තරුණ පිරිමි ළමයෙක් ගොඩනැගිල්ල තුළට ගියේය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ඔහු ඔරලෝසුව සමග පැමිණියේය. ඔහු එය සොයා ගත්තේ කෙසේදැයි ඔහුගෙන් ඇසූ විට “මම වාඩිවී නිශ්චලව සිටියෙමි. ඒ වෙලේ මට ඔරලෝසුවේ ටික් ටික් නාදය ඇසුණි” කියා ඔහු පිළිතුරු දුන්නේය.

නිශ්චලව සිටීමේ වටිනාකම ගැන බයිබලය බොහෝ දේ කථා කරයි. පුදුමයක් නොවේ. මන්ද දෙවියන්වහන්සේ සමහර විට මෘදු හඬින් කථා කරන සේක (1 රාජාවලිය 19:12). ජීවිතයේ කාර්ය බහුලකම තුළ දෙවියන්වහන්සේට සවන් දීම දුෂ්කර විය හැකිය. නමුත් අපි ඉක්මන් නොවී දෙවියන්වහන්සේ හා ශුද්ධ ලියවිල්ල සමග නිහඬ කාලයක් ගත කළහොත් අපගේ සිතුවිලි තුළ උන්වහන්සේගේ මෘදු හඬ අපට ඇසෙනු ඇත.

ගීතාවලිය 37:1-7 දක්වා අපට සහතික කරන්නේ නපුරු මිනිසුන්ගේ “දුෂ්ඨ උපායන්ගෙන්” අපව ගළවා ගැනීමටත් අපට රැකවරණය ලබා දීමටත් විශ්වාසවන්තව සිටීමට අපට උපකාර කිරීමටත් දෙවියන්වහන්සේව විශ්වාස කළ හැකි බවය. නමුත් අප අවට කැළඹිලි ඇති වන විට අපට මෙය කළ හැක්කේ කෙසේද?

7 වන පදය මෙසේ යෝජනා කරයි : “ස්වාමින් තුළ නිශ්චලව සිට ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව”. යාච්ඤාවෙන් පසුව මිනිත්තු කිහිපයක් නිහඬව සිටීමට ඉගෙන ගැනීමෙන් අපට එය ආරම්භ කළ හැකිය. එසේත් නැත්නම් බයිබලය සෙමෙන් කියවා එහි වචන අපගේ හදවත් තුළට පොඟවා ගැනීමට ඉඩ දීමෙනි. එවිට සමහර විට ඔරලෝසුවක නිශ්චල ස්ථීර ටික් ටික් ශබ්දය මෙන් උන්වහන්සේගේ ප්‍රඥාවෙන් අපට කථා කරනවා අපට ඇසෙන්න පුළුවන.