ඇලස්කාවේ කඳුකර ප්‍රදේශයක පදිංචිකරුවෙකුගේ පැල්පතේ ගින්නක් හටගත් විට ප්‍රමාණවත් නවාතැන් පහසුකම් සහ ප්‍රතිපාදන නොමැතිව එක්සත් ජනපදයේ ශීතලම ප්‍රාන්තයක ඉතා ශීත සෘතුවක් මැද ඔහු තනි වූයේය. සති තුනකට පසු එම ස්ථානයට ඉහළින් පියාසර කළ ගුවන් යානයක් දැලි තවරමින් හිම මත කොටා තිබුණු විශාල SOS (ආපදාවකදී උපකාර ඉල්ලා කරන අන්තර් ජාතික සංඥාව) අකුරු දුටු ගුවන් නියමුවා ඔහුව බේරා ගත්තේය.

ගීතිකාකරු වන දාවිත් නිසැකවම දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේය. ඔහුට ඊර්ෂ්‍යයා කළ සාවුල් රජු ඔහුව ලුහුබැඳ යමින් ඔහුව මරා දැමීමට උත්සාහ කළේය. එබැවින් ඔහු ගාත් නගරයට පලා ගියේය. එහිදී ඔහු තම ජීවිතය ආරක්‍ෂා කර ගැනීම සඳහා උමතු බවක් ආරූඪ කර ගත්තේය (1 සාමුවෙල් 21 කියවන්න). එම සිදුවීම් අතරින් 34 වන ගීතාවලිය පැන නැගුණු අතර එහිදී ඔහු දෙවියන්වහන්සේට හඬ නගා යාච්ඤා කර සමාදානය සොයා ගත් බව කියැවේ (6 පදය). ස්වාමින්වහන්සේ ඔහුගේ යාච්ඤා අසා ඔහුව ගළවා ගත් සේක.

ඔබ දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා මොර ගසන බලාපොරොත්තු සුන්වූ අවස්ථාවක සිටින්නේද? අදත් අප බලාපොරොත්තු සුන්වී කරන යාච්ඤාවන් අසා දෙවියන්වහන්සේ එයට ප්‍රතිචාර දක්වන බවට සහතික වනසේක. දාවිත්ට මෙන් උන්වහන්සේ අපගේ දුක්ඛිත යාච්ඤාවන් කෙරෙහි අවධානය යොමු කර අපගේ බිය පහ කරන සේක (4 පදය). එසේම සමහර විට “අපගේ කරදරවලින්ද” අපව ගළවා ගන්නා සේක (6 පදය).

දේව වචනය අපට ආරාධනා කරන්නේ “(අපේ) බර ස්වාමින් පිට තබන්න. උන්වහන්සේ අපව උසුලන සේක” කියාය (ගීතාවලිය 55:22). අපි අපගේ අමාරු අවස්ථාවන් දෙවියන්වහන්සේ වෙතට යොමු කරන කල අපට අවශ්‍ය උපකාරය උන්වහන්සේ සපයන්නේ යයි අපට විශ්වාස කළ හැකිය. උන්වහන්සේගේ දෑත්වල අපි සුරක්‍ෂිතව සිටිමු.