විශ්‍රාමික ඔපෙරා ගායිකාවක් වන නැන්සි ගුස්ටාෆ්සන් ඇගේ මව බැලීමට ගිය විට ඇය අමතක වීමේ (ඩිමෙන්ෂියා) රෝගයෙන් පිරිහෙමින් සිටින බව දුටුවාය. ඇගේ මව ඇයව හඳුනා නොගත් අතර කථා කළේද අල්ප වශයෙනි. කිහිප වතාවක් මාසිකව මව බැලීමට පැමිණීමෙන් පසුව නැන්සිට අදහසක් පහළ විය. නැන්සි මවට ඇසෙන්න ගායනා කළාය. සංගීතය ඇසුණු ඇගේ මවගේ ඇස් ආලෝකමත් වූ අතර ඇයද ගායනා කිරීමට පටන් ගත්තාය – විනාඩි විස්සක්! ඉන්පසු නැන්සිගේ මව සිනහසෙමින් ඔවුන් “ගුස්ටාෆ්සන් පවුලේ ගායකයෝ” යයි කීවාය. සමහර චිකිත්සකයින් නිගමණය කරන පරිදි නැතිවූ මතකයන් අවදි කිරීමට සංගීතය බලවත් පෙරළියක් කරයි. “පැරණි ප්‍රියතම” ගීතයන් ගායනා කිරීම මගින් මනෝභාවය ඉහළ නැංවීම, වැටීම අඩු කිරීම, හදිසි ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණිම අඩු කිරීම සහ කෙනෙකුට සන්සුන් කිරීමේ ඖෂධ සඳහා ඇති අවශ්‍යතාවය අඩු කිරීම සිදු වන්නේය.

සංගීත මතක සම්බන්ධකයන් පිළිබඳව තවමත් පර්යේෂණ සිදුවෙමින් පවතී. එහෙත් බයිබලය හෙළි කරන පරිදි ගායනයෙන් ලැබෙන ප්‍රීතිය දෙවියන්වහන්සේගෙන් ලද ත්‍යගයක් වන අතර එය සැබැය. “අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කීම යහපත්ය. එයින් ප්‍රීතිය උපදනේය. ප්‍රශංසා කිරීම හොබනේය” (ගීතාවලිය 147:1).

දේව වචනය පුරාම දෙවියන්වහන්සේගේ සෙනග උන්වහන්සේට ප්‍රශංසා ගී ගායනා කරමින් උන්වහන්සේට ප්‍රශංසා කරන ලෙසට ඉල්ලා සිටියි. “ස්වාමින්වහන්සේට ගායනා කරව්. මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළ සේක” (යෙසායා 12:5). “උන්වහන්සේ අලුත් ගීතිකාවක් එනම් අපේ දෙවියන්වහන්සේට ස්තුති ගීතිකාවක් මාගේ මුඛයෙහි තැබු සේක. බොහෝ දෙනෙක් ඒ දැක භයව ස්වාමින් කෙරෙහි විශ්වාස කරන්නෝය” (ගීතාවලිය 40:3). අපගේ ගායනය අපට පමණක් නොව එය අසන අයටද ප්‍රබෝධයක් ගෙන දේ. අපගේ දෙවියන්වහන්සේ ශ්‍රේෂ්ඨය, ප්‍රශංසා ලැබීමට සුදුසුය යන්න අපි සෑම කෙනෙක්ම මතක තබා ගනිමු.