අපි ආඩම්බරද යන්න දැන ගැනීමට සීි.එස්. ලුවිස් තමන්ගේ “Mere Christianity” එනම් හුදු නොහොත් නිකම්ම ක්‍රිස්තියානි ධර්මය නම්වූ පොතෙහි තමන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන්න උපදෙස් දෙන්නේය. “අනෙක් අය මාව නොතකා හැරීමෙන් හෝ අවමානයට පත් කරන විට හෝ මා ගැන කිසිදු තැකීමක් කිරීම ප්‍රතික්‍ෂේප කරන විට හෝ ….. මාව උසස් කරන විට හෝ මවාපාන විට හෝ මම එයට කෙතරම් අකමැතිද?” ලුවිස් ආඩම්බරය දුටුවේ “අතීශයින්ම නපුරු දෙයක් හැටියට” සහ නිවෙස්වල සහ ජාතීන්ගේ දුක්ඛිතභාවයට ප්‍රධාන හේතුව ලෙසය. ඔහු එය හැඳින්වූයේ ආදරය, ලද දෙයින් සතුටු වීම සහ සාමාන්‍ය බුද්ධිය යන යහපත් ගුණාංග පවා නැති කරන “අධ්‍යාත්මික පිළිකාවක්” ලෙසිනි.

උඩඟුකම යුග ගණනාවක් තිස්සේ ගැටළුවක් වී තිබේ. වෙරළබඩ බලවත් නගරයක් වන තීර්හී නායකයාට උඩඟුකමට එරෙහිව දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූයේ අනාගතවක්තෘ එසකියෙල් හරහාය. රජුගේ ආඩම්බරය ඔහුගේ පරිහානියට හේතු වනු ඇතැයි ඔහු පැවසුවේය. “නුඹේ සිත දෙවිකෙනෙකුගේ සිත මෙන් නුඹ සළකන බැවින් …… මම විදේශීන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි” (එසකියෙල් 28:6-7). එවිට ඔහු තමා දෙවි කෙනෙක් නොව මනුෂ්‍යයෙක් බව දැන ගන්නේය (8 පදය).

උඩඟුකමට හාත්පසින්ම වෙනස් වන්නේ නිහතමානිකමයි. එය දෙවියන්වහන්සේව දැන හඳුනා ගැනීමෙන් ලැබෙන ගුණාංගයක් ලෙසට ලුවිස් හඳුන්වන්නේය. ලුවිස් පැවසුවේ අපි උන්වහන්සේ සමග සම්බන්ධ වන විට අපි “සතුටින් නිහතමානී” වන බවයි. මීට පෙර අපව නොසන්සුන් කළ හා අසතුටට පත් කළ අපගේ අභිමානය පිළිබඳ මෝඩ විකාරයෙන් මිදීමෙන් අපට සහනයක් දැනෙනු ඇත.

අපි දෙවියන්වහන්සේව වැඩි වැඩියෙන් නමස්කාර කරන තරමට අපි තව තවත් උන්වහන්සේව හඳුනා ගෙන උන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වන්නෙමු. අපි ප්‍රේමයෙන්ද ප්‍රීතියෙන් සහ නිහතමානීවද උන්වහන්සේට සේවය කරන අය වෙමු.