මාගේ ස්වාමිපුරුෂයා සහ මම රට හරහා යෑමට සුදානම් වෙද්දී අපගේ වැඩිහිටි පුත්‍රයන් සමග සම්බන්ධතාවය පවත්වා ගෙන යාමට මට අවශ්‍ය වුනි. මට විශේෂ තෑග්ගක් හමු විය. ඒ විදුලි රැහැන් රහිත අන්තර් ජාලය හරහා සම්බන්ධ කර ඇති දුරස්ථයකින් ක්‍රියාත්මක කළ හැකි මිත්‍රත්ව පහනකි. මම මගේ පුත්‍රයන්ට පහන් දුන් විට මම ඔවුන්ට පැහැදිළි කළේ මම මගේ පහන ස්පර්ශ කරන විට ඔවුන්ගේ පහන් දැල්වෙන බවත් ඒ මගින් මගේ ප්‍රේමය සහ ඔවුන් වෙනුවෙන් කරන මගේ යාච්ඤාවන් ගැන දීප්තිමත් සිහිපත් කිරීමක් ඔවුන්ට දන්වන බවත්ය. අප අතර කෙතරම් දුරස් බවක් තිබුණත් කම් නැත. ඔවුන්ගේ පහන්වලට තට්ටු කිරීමෙන් අපගේ නිවසේද ආලෝකයක් මතුවනු ඇත. අපගේ පුද්ගලික සම්බන්ධතා වෙනුවෙන් වෙනත් කිසිවක් සම කළ නොහැකි බව අප දැන සිටියත් මෙම පහන් දැල්වෙන සෑම වෙලාවකම අපට ප්‍රේම කරන සහ යාච්ඤා කරන අය සිටින්නේය කියා අපට ධෛර්යමත් විය හැකිය.

දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ට ශුද්ධාත්මයාණන් විසින් බලගැන්වෙන ආලෝකය බෙදා හරින්නන් වීමේ වරප්‍රසාදය ඇත. අපව නිර්මාණය කර ඇත්තේ දෙවියන්වහන්සේගේ සදාකාලික බලාපොරොත්තුවේ සහ කොන්දේසි විරහිත ප්‍රේමයේ දීප්තිමත් ආලෝකයක් ලෙසට ජීවත් වීමටයි. අපි ශුභාරංචිය බෙදා ගන්නා විට සහ යේසුස්වහන්සේගේ නාමයෙන් අන් අයට සේවය කරන විට අපි දීප්තිමත් ආලෝකයක් සහ ජීවමාන සාක්‍ෂිකරුවන් බවට පත්වන්නෙමු. සෑම යහපත් ක්‍රියාවක්ම, කාරුණික සිනහවක්ම, දිරි ගැන්වීමේ මෘදු වචනයක්ම සහ හදවතට දැනෙන ලෙස කරන යාච්ඤාවක්ම මගින් දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම සහ උන්වහන්සේගේ කොන්දේසි විරහිත හා ජීවිතය වෙනස් කරන ප්‍රේමය පිළිබඳව දීප්තිමත් සිහිපත් කිරීමක් කරයි.

දෙවියන්වහන්සේ අපව කොතැනකට ගෙන ගියත් අප උන්වහන්සේට කුමණ ආකාරයෙන් සේවය කළත් උන්වහන්සේගේ ආලෝකය බැබළවීමට අන් අයට උපකාර කිරීමට උන්වහන්සේට අපව යොදා ගත හැකිය. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මය මගින් සැබෑ ආලෝකය දල්වන අතර අපට උන්වහන්සේගේ අභිමුඛයේ ආලෝකය සහ ප්‍රේමය පිළිබිඹු කළ හැකිය.