අපිරිසිදු පූස් පැටවා කොන්ක්‍රීට් තට්ටුවේ සන්සුන්ව වාඩිවී සිටිමින් අභිමානයෙන් මා දෙස බලා සිටියේය. මගේ සේවාදායකයා සේවය කළ ගොඩනැගිල්ලේ පහලම මාලයේ රථගාලේ තම සහෝදර පූස් පැටියා සමග ඔහු ජීවත් වුනි. ඔවුන් ගැන කණගාටු වුනු මම සෑම දිනකම ඔවුන්ට ආහාර සැපයීම සඳහා ආරක්‍ෂක භටයාට බළලුන්ගේ ආහාර ලබා දුනිමි. ආහාර අවසන් වූ සෑම විටකම එය පුරවා දුන්නෙමි.

නමුත් මුරකරු වෙනත් ස්ථානයකට මාරු වී යන දිනය පැමිණියේය. “ස්වාමිනී, මෙම අසරණ පූස් පැටවුන් ඔබවහන්සේගේ මැවිල්ලකි. කරුණාකර මට ඔවුන්ගේ ආහාර භාර දිය හැකි කෙනෙකු ලබා දෙන්න” කියා මම යාච්ඤා කළෙමි. නමුත් මම කල්පනා කළෙමි. එවැනි ඉල්ලීමක් දෙවියන්වහන්සේට වැදගත් වේවිද? උන්වහන්සේට ක්‍රියා කරන්න ඊට වඩා වැදගත් දේවල් තිබෙනවා නොවේද?

අපෝස්තලු පාවුල් තුමා පිලිප්පි 4:6 හි අපට මතක් කර දෙන්නේ “ නුඹලා කිසිවක් ගැන කණගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න” කියාය. අපගේ සියලු කාරණා, නිෂ්ඵල දේවල් පවා උන්වහන්සේ වෙත ගෙනෙනවාට බොහෝ සෙයින් කැමති වන ප්‍රේමණීය පියෙක් අපට සිටියි.

එදින හවස් වරුවේ ගොඩනැගිල්ලේ වසර ගණනාවක් සේවය කළ වැඩිහිටි කම්කරුවෙක් මා වෙත පැමිණියේය. මම ඒ ගැන කථා කරන්නත් පෙර මෙම කාරුණික මනුෂ්‍යයා “මුරකරු තවදුරටත් මෙහි නොමැති නිසා මට මෙතැන් පටන් පූස් පැටවුන්ට කෑම දෙන්න පුළුවනි” කියා කීවේය.

ඇත්ත වශයෙන්ම දෙවියන්වහන්සේට පැවසිය නොහැකි තරම් දුෂ්කර හෝ නොවැදගත් හෝ කිසිවක් නොමැත. අපට වැදගත් දේවල් එනම් අපට පුද්ගලික වන හා අපගේ හදවතට කිට්ටු දේවල් දෙවියන්වහන්සේට වැදගත් වේ. අපි එම දේවල් උන්වහන්සේට භාර කරමු.