මගේ සහෝදරයා වන පෝල් දරුණු අපස්මාරය සමග පොර බදිමින් හැදී වැඩුණු අතර ඔහු නව යොවුන් වියට එළඹෙන විට එය තවත් දරුණ විය. වරකට පැය හයකට වඩා වැඩි කාලයක් ඔහු අඛණ්ඩව අපස්මාරයෙන් දුක් වින්ද බැවින් රාත්‍රී කාලය ඔහුට සහ මගේ දෙමාපියන්ට මහත් කරදරයක් විය. රෝග ලක්‍ෂණ සමනය කරන හෝ අවම වශයෙන් දවසෙන් කොටසක්වත් ඔහුව සිහියෙන් තබා ගැනීමට හෝ ප්‍රතිකාරයක් වෛද්‍යවරුන්ට සොයා ගත නොහැකි වුනි. “දෙවියනි, අහෝ දෙවියනි, අපට උපකාර කළ මැනව” කියා මගේ දෙමාපියන් යාච්ඤාවෙන් මොර ගැසූහ.

ඔවුන්ගේ හැඟීම් බිඳ වැටී ඔවුන්ගේ සිරුරු වෙහෙසව තිබුණත් පෝල් සහ මගේ දෙමාපියන් සෑම අලුත් දිනකටම අවශ්‍ය ශක්තිය දෙවියන්වහන්සේගෙන් ලබා ගත්හ. එයට අමතරව මගේ දෙමාපියන් විලාප ගී පොත ඇතුළුව බයිබලයේ වචනවලින් අස්වැසිල්ලක් ලබා ගත්හ. මෙහිදී යෙරමියා බබිලෝනිවරුන් විසින් යෙරුසලම විනාශ කිරීම ගැන තමන්ගේ වේදනාව ප්‍රකාශ කළේ “පීඩාවත් මාගේ දුකත් සිහිපත් කළ මැනව” (3:19) යයි සඳහන් කරමිනි. එහෙත් යෙරමියා බලාපොරොත්තු සුන්කර ගත්තේ නැත. ඔහු දෙවියන්වහන්සේගේ කරුණාවල් සිහිපත් කළේය. උන්වහන්සේගේ අනුකම්පාවල් “උදයෙන් උදය අලුත්ව තිබේ” (23 පදය) යයි ඔහු කීවේය. එම නිසා මගේ දෙමව්පියන්ද එසේ සිතූහ.

ඔබ කුමකට මුහුණ දුන්නත් දෙවියන්වහන්සේ සැම උදෑසනකම විශ්වාසවන්තව සිටින බව දැන ගන්න. උන්වහන්සේ දිනෙන් දින අපගේ ශක්තිය අලුත් කර අපට බලාපොරොත්තුවක් දෙන සේක. සමහර විට මගේ පවුලේ අයට මෙන් උන්වහන්සේ සහනය ගෙන එන සේක. වසර ගණනාවකට පසු නව ඖෂධයක් ලබා ගත හැකි වූ අතර එය පෝල්ගේ රාත්‍රී කාලයේ අඛණ්ඩව තිබූ අපස්මාරයෙන් ශරීරය අඩපණ වීම නැවතුණු අතර මගේ පවුලට සුව නින්දක් සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක්ද ලබා දුන්නේය.

අපගේ සිත් කඩා වැටුණු විට (20 පදය) දෙවියන්වහන්සේගේ කරුණාවල් සෑම උදයකම අලුත්ව ඇති බව මතකයට නංවා ගනිමු.