වසර ගණනාවකට පෙර, මගේ පුත් ජොෂ් සහ මම කඳුකර මාවතකට යමින් සිටියදී දූවිලි වළාකුලක් ඉහළට නඟිණවා දැක ඒ ගැන සොයා බැලුවෙමු. අප සෙමෙන් ඉදිරියට යන විට, කුණු ඉවුරක ගුහාවක් සෑදීමේ යෙදී සිටි කාර්යබහුල බැජර් නමැති වලස් වර්ගයට අයිති සතෙක් පොළොවෙහි ගුලක් හාරනවා දුටුවෙමු. උගේ හිස සහ උරහිස් කුහරය තුළ තිබූ අතර, ඌගේ ඉදිරිපස පාදවලින් දැඩි ලෙස හාරා, පිටුපස පාද වලින් කුහරයෙන් පිටතට කුණු පයින් ගසමින් සිටියේය. ඌ කොයිතරම් ඒ කාර්යයට අවධානය දී තිබුනාද අප ලඟට එනවා ඌට ඇසුනේ නැත.

මම ඌට පිටුපසින් ඇවිත් ළඟ තිබූ දිගු පොල්ලක් අරගෙන ඌව තල්ලු කළෙමි. මට මෙය නොකිරීමෙන් වළකින්නට බැරි වුනා. මම බැජර්ට රිදවූයේ නැති නමුත් ඌ කෙලින්ම උඩට පැන අප දෙසට හරුණේය. ජොෂ් සහ මම කොයිතරම් වේගයෙන් දිව්වාද කිවහොත් අප දෙදෙනා යාර 100 ඉසව්ව සඳහා නව ලෝක වාර්තා තැබුවෙමු.

දුරදිග නොබැලීම හේතුවෙන් මම යමක් ඉගෙන ගත්තෙමි: සමහර විට අනෙක් අයගේ දේවල් වලට ඇඟිලි නොගැසීම වඩාත් සුදුසුය. යේසුස්වහන්සේ තුළ සෙසු ඇදහිලිවන්තයන් සමඟ ඇති සබඳතාවලදී එය විශේෂයෙන් සත්‍ය වේ. පාවුල් තුමා තෙසලෝනික වරුන් දිරිමත් කළේ, “නිස්කලංක ජීවිතයක් ගතකිරීම ඔබේ කැමැත්ත බවට පත්කරන්න: ඔබේම වැඩකටයුතු ගැන සිතමින් ඔබේ දෑතින් වැඩ කළ යුතුයි” (1 තෙසලෝනික 4:11). අප අන් අය උදෙසා යාච්ඤා කළ යුතු අතර දෙවියන්වහන්සේගේ අනුග්‍රහය තුළ ශුද්ධ ලියවිල්ල බෙදා ගත යුතුයි. ඉඳහිට නිවැරදි කිරීමේ මෘදු වචනයක් කථාකිරීමට අපව කැඳවනු ලැබේ. නමුත් අන් අයගේ ජීවිතවලට ඇඟිලි නොගසා නිස්කලංක ජීවිතයක් ගත කිරීමට ඉගෙන ගැනීම වැදගත් වේ. දෙවියන්වහන්සේගේ පවුලෙන් පිටත සිටින අයට එය ආදර්ශයක් බවට පත්වේ (12 පදය). අපගේ කැඳවීම නම් “එකිනෙකාට ප්‍රේමකිරීම” යි (9 පදය).