එක උදෑසනක පුදුම සහගත නිවේදනයකින් එක් පවුලක පවුලේ යාච්ඤා කාලය අවසන් විය. තාත්තා
“ආමෙන්” යයි පැවසූ විගස පස් හැවිරිදි කේට්ලින් ප්‍රකාශ කළේ, “මම ලෝගන් වෙනුවෙන් යාච්ඤා කළා මොකද එයා යාච්ඤා වෙලාවෙ ඇස් ඇරගෙන හිටිය නිසා”.

ශුද්ධ ලියවිල්ලේ කියා තිබෙන ආකාරයට මැදිහත් යාච්ඤාව පිණිස අප කැඳවන්නේ ඔබේ දස හැවිරිදි දරුවාගේ (හෝ සහෝදරයාගේ) යාච්ඤා ශෛලිය නොවන බව මට හොඳටම විශ්වාසයි. එසේ නමුත් අවම වශයෙන් අපට අන් අය වෙනුවෙන් යාච්ඤා කළ හැකි බව කේට්ලින් තේරුම් ගත්තා.

වෙනත් කෙනෙකු වෙනුවෙන් යාච්ඤා කිරීමේ වැදගත්කම බයිබල් ගුරුවරයෙක් වන ඔස්වල්ඩ් චේම්බර්ස් අවධාරණය කළේය. ඔහු පැවසුවේ, “මැදිහත් වීම යනු ඔබ දෙවියන්වහන්සේගේ ස්ථානයට පත් වී උන්වහන්සේගේ මනස සහ ඉදිරි දර්ශනය ලබාගැනීම ය”. දෙවියන්වහන්සේ ගැන අප දන්නා දේ සහ උන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය සැළකිල්ලට ගෙන අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීමයි.

දානියෙන් 9 හි මැදිහත් යාච්ඤාවට හොඳ උදාහරණයක් අපට හමු වේ. යුදෙව්වන් බැබිලෝනියේ අවුරුදු හැත්තෑවක් වහල්භාවයෙන් සිටිනු ඇතැයි දෙවියන්වහන්සේ දුන් කරදරකාරී පොරොන්දුව දිවැසිවරයා තේරුම් ගත්තේය (යෙරෙමියා 25:11-12). එම කාලය අවසන් වෙමින් පවතින බව වටහාගත් දානියෙල් යාච්ඤාවේ යෙදුනේය. ඔහු දෙවියන්වහන්සේගේ ආඥා සඳහන් කළේය (දානියෙල් 9:4-6), නිහතමානි විය (8 පදය), දෙවියන්වහන්සේගේ ස්වභාවයට ගරු කළේය (9 පදය), පාපය පාපොච්චාරනය කරමින් (15 පදය) දෙවියන්වහන්සේගේ දයාව මත රඳා පවතිමින් තම ජනතාව වෙනුවෙන් යාච්ඤා කළේය (18 පදය). ඔහුට දෙවියන්වහන්සේගෙන් ක්‍ෂණික පිළිතුරක් ලැබුණි (21 පදය).

සෑම යාච්ඤාවක්ම එතරම් නාට්‍යමය ප්‍රතිචාරයකින් අවසන් නොවන අතර, උන්වහන්සේ මත රඳාපවතින ඇදහිල්ලක් ඇතිව අන් අය වෙනුවෙන් දෙවියන්වහන්සේ වෙතට යා හැකි බවට ධෛර්යමත් වන්න.