මේ ලෝකයේ ඉහළ පෙළේ ධනවතුන් වන වොරන් බෆේ සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් ඔවුන්ගේ මුදල් වලින් අඩක් පරිත්‍යාග කරන බවට පොරොන්දු වෙමින් දීමේ පොරොන්දුව දියත් කළ විට ඉතිහාසය නිර්මාණය කලහ. 2018 වන විට මෙයින් අදහස් කළේ ඩොලර් බිලියන 92ක් පරිත්‍යාග කිරීමයි. මෙම පොරොන්දුව, මනෝවිද්‍යා විශේෂඥයෙක් වන පෝල් පිෆ්ට මුදල් පරිත්‍යාග රටාවන් අධ්‍යයනය කිරීමට කුතුහලයක් ඇති කළේය. පර්යේෂණ පරීක්‍ෂණයකින් ඔහු සොයාගත්තේ දුප්පතුන් ධනවතුන්ට වඩා 44%ක් මුදල් පරිත්‍යාග කිරීමට පෙළඹෙන බවයි. තමන්ගේම දුප්පත්කම දැනී ඇති අය බොහෝ විට වඩාත් ත්‍යාගශීලි බවට පත්වේ.

යේසුස්වහන්සේ මෙය දැන සිටි සේක. දේවමාළිගාවය ගිය උන්වහන්සේ සමූහයා තෑගි භාණ්ඩාගාරයට දමනවා දුටු සේක (මාක් 12:41). ධනවතුන් මුදල් තොගයක් විසි කළ නමුත් දුප්පත් වැන්දඹුවක් තමන්ගේ අන්තිම කාසි දෙක එළියට ගෙන කූඩයට දැමුවාය. යේසුස්වහන්සේ නැඟිට, ප්‍රීතියෙන් හා මවිතයට පත් වන අයුරු මම සිතින් මවා ගත්තෙමි. එකෙනෙහිම, උන්වහන්සේ මෙම විස්මයජනක ක්‍රියාව දකින පිණිස තම ගෝළයන් එක්රැස් කළ සේක. “මේ දුප්පත් වැන්දඹුව අනෙක් සියල්ලන්ට වඩා භාණ්ඩාගාරයට දමා තිබෙනවා” කියා යේසුස්වහන්සේ පැවසුවා (43 පදය). යේසුස්වහන්සේ කථාකරන්නේ කුමක්දැයි යමෙකුට පැහැදිලි කළ හැකි යයි සිතමින් ගෝළයන් එකිනෙකා දෙස බලා, ව්‍යාකූල වූහ. ඉතින්, උන්වහන්සේ එය පැහැදිලි කළ සේක: විශාල තෑගි ගෙනෙන අය “ඔවුන්ගේ ධනයෙන් ලබා දුන් නමුත් ඇය ඇගේ දුප්පත්කමෙන් සියල්ල දැමුවාය” (44 පදය).

අපට දීමට එතරම් දෙයක් නැතත්, අපගේ දුප්පත්කමෙන් දීමට යේසුස්වහන්සේ අපට ආරාධනා කරන සේක. අන් අයට සොච්චමක් මෙන් පෙණුනත්, අප සතුව ඇති දේ අපි ලබා දෙන අතර, අපගේ වටිනා තෑගිවලින් දෙවියන්වහන්සේ මහත් ප්‍රීතියක් ලබන සේක.