ටී උන් ට දුර්ලභ ස්වයං ප්‍රතිශක්තිකරන රෝගයක් සෑදී ඔහුගේ සියලු මාංශ පේශි දුර්වල කර, ඔහු මරණාසන්න වූ විට, හුස්ම ගැනීමට හැකි වීම ත්‍යාගයක් බව ඔහුට වැටහුණි. සතියකට වැඩි කාලයක්, යන්ත්‍රයක් මාර්ගයෙන් සෑම තප්පර කීපයකට වරක් ඔහුගේ පෙනහළු වලට වාතය පොම්ප කිරීමට සිදු වූ අතර එය ඔහුගේ ප්‍රතිකාරයේ වේදනාකාරී අංගයක් විය.

ටී උන් ආශ්චර්යමත් ලෙස සුවය ලබා ඇති අතර අද ඔහු තමන්ටම මතක් කර දෙන්නේ ජීවිතයේ අභියෝග ගැන පැමිණිලි නොකරන ලෙසයි. “මම ගැඹුරු හුස්මක් ගනිමින්, මට එසේ කිරීමට හැකි නිසා දෙවියන්වහන්සේට ස්තුති කරනවා.”

අපට අවශ්‍ය හෝ ඕනෑ දේ කෙරෙහි අවධානය ඉතා පහසුවෙන් යොමු කිරීම තුළින් සමහර විට ජීවිතයේ කුඩාම දේ විශාලතම ප්‍රාතිහාර්යයන් විය හැකි බව අමතක වෙන්න පුළුවන. එසකියෙල්ගේ දර්ශනයෙන් (එසකියෙල් 37:1-14), වියළි ඇටකටු වලට ජීවය දිය හැක්කේ උන්වහන්සේට පමණක් බව දෙවියන්වහන්සේ දිවැසිවරතුමාට පෙන්වූ සේක. නහර ඒවා පිට තිබෙනවා දුටිමි, මාංසය හටගැනී, ඒ උඩ සමින් වැසුණේය. නුමුත් “ඒවා තුළ ජීවය නොතිබුණි” (8 පදය). ඒවාට නැවත ජීවත්වීමට හැකි වූයේ දෙවියන්වහන්සේ හුස්ම දුන් විට පමණි (10 පදය).

ඊශ්‍රායෙල් දේශය විනාශයෙන් මුදවා ගැනීමට දෙවියන්වහන්සේ දුන් පොරොන්දුවට මෙය නිදර්ශනයකි. දෙවියන්වහන්සේ මට හුස්ම ලබාදෙන්නේ නැත්නම්, මට තිබෙන් ලොකු හෝ කුඩා ඕනෑම දෙයක් නිෂ්ඵල බව ද එය මට මතක් කර දෙයි.

අද ජීවිතයේ සරලම ආශිර්වාද වෙනුවෙන් දෙවියන්වහන්සේට ස්තුති කරමුද? දෛනික අරගල මධ්‍යයේ, ගැඹුරු හුස්මක් ගැනීම සඳහා ඉඳහිට නතර වී, “හුස්ම ඇති සියල්ල සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමු” (ගීතාවලිය 150:6).