සුන්දර දවස භුක්ති විඳීමට අවශ්‍ය වූ මම ඇවිදීමට පිටත්වූ අතර ඉක්මණින්ම නව අසල්වැසියෙකු මුණගැසුණේය. ඔහු මාව නවත්වා ඔහුව හඳුන්වා දුන්නා, “මගේ නම ජෙනිසිස්, මගේ වයස අවුරුදු හය හමාරයි”.

“ජෙනිසිස් කියන්නේ ශ්‍රේෂ්ඨ නමක්! ඒක බයිබලයේ පොතක්” කියා මම පිළිතුරු දුන්නා.
“බයිබලය කියන්නේ මොකක්ද?” ඔහු ඇසුවා.
“ඒක දෙවියන්වහන්සේ ලෝකය සහ මිනිසුන් මැවූ ආකාරය සහ උන්වහන්සේ අපට ප්‍රේම කරන ආකාරය කියන කථා පොතක්.”
ඔහුගේ විමසිලිමත් ප්‍රතිචාරයට මට සිනහවක් ආවා: “උන්වහන්සේ ලෝකය සහ මිනිසුන් සහ කාර් සහ නිවාස සෑදුවේ ඇයි? උන්වහන්සේගේ පොතේ මගේ පින්තූරෙ තියනවාද?”

මගේ නව මිතුරා වන ජෙනිසිස් හෝ අප ගැන ශුද්ධ ලියවිල්ලෙහි වචනානුසාරයෙන් චිත්‍රයක් නොමැති අතර, අපි දෙවියන්වහන්සේගේ කථාන්දර පොතේ විශාල කොටසක් වන්නෙමු. උත්පත්ති 1 හි අපට පෙන්වා දෙන්නේ: “දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැව්වේ උන්වහන්සේගේ ස්වරූපයෙන්, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේ ඔවුන්ව මැවූ සේක ” (27 පදය). දෙවියන්වහන්සේ ඔවුන් සමඟ උයනේ ඇවිද ගිය අතර, ඔවුන්ට දෙවි කෙනෙකු වීමට එන පරික්‍ෂාවට පෙළඹවීම ගැන අනතුරු ඇඟවීය (3වන පරිච්ඡේදය). පසු කලෙක දෙවියන්වහන්සේ සිය පොතේ, උන්වහන්සේගේ පුත් යේසුස්වහන්සේ අප සමඟ නැවත ඇවිදීමට පැමිණ අපට සමාව දෙන්නට සහ උන්වහන්සේගේ මැවිල්ල නැවත යථා තත්ත්‍වයට පත් කිරීම සඳහා සැළැස්මක් ගෙන ආවේ කෙසේද යන්න ගැනත් සඳහන් වෙයි.

අප බයිබලය දෙස බලන විට, අපගේ මැවුම්කරුවාණන්ට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේව දැන හඳුනා ගැනීම, උන්වහන්සේ සමඟ කථා කිරීම සහ අපගේ ප්‍රශ්න උන්වහන්සේගෙන් විමසීමයි. අපට සිතාගත නොහැකි තරමට උන්වහන්සේ අප ගැන සැළකිලිමත් වන සේක.