කැටෙයුරා යනු දකුණු අමෙරිකාවේ පැරගුවේ හි කුඩා මුඩුක්කුවකි. අන්ත අසරණ ලෙස දුප්පත් වූ පිරිසක් මෙහි වාසය කරන අතර ඔවුන් නොනැසී ජීවත්වෙන්නේ එහි කුණු කසල වලින් ප්‍රතිචක්‍රීකරණය (recycling) කිරීමෙනි. නමුත් මෙම අවිනිශ්චිත තත්ත්‍වයන්ගෙන්, අලංකාර දෙයක් මතු වී ඇත – සංගීත වාදක කණ්ඩායමක්.

කැටෙයුරා හි වයලීනයකට නිවසකට වඩා වියදමක් දැරීමට සිදු වන නිසා, සංගීත කණ්ඩායමට නිර්මාණශීලි වීමට සිදුවූ අතර, ඔවුන්ගේම කුණු කසල සැපයුමෙන් තමන්ගේ උපකරණ සකසා ගන්නා ලදී. වයලීනය සෑදී ඇත්තේ තෙල් කෑන් සහ නැමුණු ගෑරප්පු වලිනි. සැක්සෆෝනය කානු පයිප්ප වලින් සෑදු අතර යතුරු සඳහා බෝතල් මුදුන් යොදාගන්නා ලදී. චෙලෝ නොහොත් වයලීනයකට වඩා විශාල සංගීත භාණ්ඩයක් සාදා ගැනීම සඳහා ටින් බැරල් ද, සංගීත භාණ්ඩයක් නියම ස්වරයට සකස් කිරීම සඳහා ග්නොචි රෝලර් (gnocchi roller) වැනි දේ පාවිච්චි කර ඇත. මෙම උපක්‍රම මත මොසාට්ගේ සංගීතය ඇසීම සුන්දර දෙයකි. මෙම සංගීත කණ්ඩායම බොහෝ රටවල සංචාරය කර ඇති අතර එහි තරුණ සාමාජිකයන්ගේ ඉදිරි දර්ශන වර්ධනය වී ඇත.

ගොඩකිරීම් වලින් වයලීනය, මුඩුක්කු වලින් සංගීතය. එය දෙවියන්වහන්සේ කරන දෙය සංකේතවත් කරයි. මක්නිසාද යෙසායා අනාගතවක්තෘ තුමා දෙවියන්වහන්සේගේ නව මැවිල්ල ගැන සිතන විට, දුප්පත්කමේ සිට සුන්දරත්‍වය පිළිබඳ ඊට සමාන චිත්‍රයක් මතුවේ. කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය (යෙසායා 35:1-2), කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද (6-7 පද) ඉවතලන යුධ උපකරණ වලින් උද්‍යාණ උපකරණ ද (යෙසායා 2:4), සහ දුගී දුප්පත් මිනිසුන් ප්‍රීතිමත් ගීත වල හඬට එකතු වේ (යෙසායා 35:5-6,10).

“ලෝකය අපට කුණු කසල එවයි,” කැටෙයුරා හි සංගීත කණ්ඩායමේ අධ්‍යක්‍ෂක පවසයි. “අපි සංගීතය ආපසු යවනවා.” ඔවුන් එසේ කරත්ම, දෙවියන්වහන්සේ සෑම ඇසකම කඳුළු පිස දමා දුප්පත්කම තුරන් කරන අනාගතය පිළිබඳ දර්ශනයක් ලෝකය වෙත ලබා දෙන්නේය.